ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීම පිළිබඳ ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය ශෝකය පළ කර තිබෙනවා.
ජනාධිපතිවරයා පවසන්නේ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ගෝලීය සදාචාරාත්මක පැවැත්මක් උදෙසා මඟ පෙන්වන්නෙකු මෙන්ම, සාමය, යුක්තිය සහ දයානුකම්පාව වෙනුවෙන් ගැඹුරු මෙන්ම ගෞරවනීය හඬක් නැඟූ බවයි.
දුප්පතුන් කෙරෙහි ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් වහන්සේගේ නොසැලෙන මානවවාදී දැක්ම මෙන්ම ගෝලීය එකමුතුකම වෙනුවෙන් වෙහෙස නොබලා දැරූ ප්‍රයත්නය සහ උන් වහන්සේගේ අධ්‍යාත්මික නායකත්වය සියලු ආගම්වලට අයත් මිලියන ගණනකගේ සිත්සතන් ස්පර්ශ කරන්නට සමත් වූ බව ජනාධිපතිවරයා නිකුත් කළ නිවේදනයේ සඳහන්.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පිළිබඳ මතකය ශ්‍රී ලංකාව තුළ සුවිශේෂි වූ භක්ත්‍යාදරයකින් යුතුව සමරනු ලබනවා.
ඒ, 2015 වසරේ ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාව තුළ උන් වහන්සේ සිදු කළ ඓතිහාසික සංචාරයත් සමඟයි.
වසර ගණනාවක යුදමය තත්ත්වයකින් පසු මෙරට ජනතාව සුවපත් කළ අධ්‍යාත්මික සුවයේ සහ අන්තර් ආගමික සහයෝගීතාවේ මොහොතක් ලෙසින් එය ශ්‍රී ලාංකික සැමගේ මතකයේ සදා පවතින බවයි ජනාධිපතිවරයා පවසන්නේ.
උන් වහන්සේගේ සම්ප්‍රාප්තිය, සාමය, බලාපොරොත්තුව සහ ප්‍රජාවන් අතර සංහිඳියාව සඳහා වූ නව කැඳවුමක් වූ බව ජනාධිපතිවරයා සඳහන් කරනවා.
ආගමික භේදයකින් තොරව සාමය, සහජීවනය සහ මානව ගරුත්වය අගයන සියලුම ශ්‍රී ලාංකික ජනතාවගේ මිතුරෙකු ලෙසින්ද, දුෂ්කර සමයන්හි සදාචාරාත්මක මං පෙත් හෙළි කළ මඟපෙන්වන්නෙකු ලෙසින්ද උන් වහන්සේව සදා සිහිපත් කෙරෙනු ඇති බවයි ජනාධිපතිවරයා නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.
උන් වහන්සේගේ දයානුකම්පාව, යුක්තිය සහ අන්තර් ආගමික සහජීවනය පිළිබඳ ජීවනාදර්ශය අනාගත පරම්පරාවන්ට නව සුසමාදර්ශයක් වනු ඇති බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය ශෝක පණිවිඩය මඟින් වැඩිදුරටත් දක්වා තිබෙනවා.