රුපියල් හත් කෝටි පනස් ලක්ෂයක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ශ්‍රී ලාංකික ගුවන් මගීන් සිව්දෙනෙකු කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ මත්ද්‍රව්‍ය කටුනායක ගුවන් තොටුපොළ ව්‍යාපාරිකයන් සදහා වන රක්ත මාවත ඔස්සේ පිටතට ගෙන යාමට තැත් කළ අවස්ථාවේදීයි.
පළමුව කොළඹ - 02 ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි ව්‍යාපාරික කාන්තාවක් රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කර තිබුණා.
අනතුරුව ගුවන් තොටුපොළ ආරක්ෂක කැමරා පද්ධතිය ද නිරීක්ෂණය කර තිබෙනවා.
පසුව මෙම කල්ලියේ අනෙකුත් සාමාජිකයන් තිදෙනා හඳුනාගෙන අත්අඩංගුවට ගැනීම සමත් වී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
ඔවුන් අතරට කොළඹ, වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි සැමියා සමග සිටි 42 හැවිරිදි බිරිද මෙන්ම කොළඹ - 15 ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු ද අයත්.
මෙම පිරිස අදාළ මත්ද්‍රව්‍ය තොගය තායිලන්තයෙන් මිලදීගෙන, ඉන්දියාවේ බැංගලෝර් නුවර වෙත පැමිණ, එතැන් සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.
තායිලන්තයේ මේ වන විට මෙම මත්ද්‍රව්‍ය විවෘත වෙළෙදපොළ තුළ පහසුවෙන් මිළදී ගත හැකි හෙයින්, එරට සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙන ගුවන් මගීන් දැඩි පරීක්ෂාවකට ලක් කෙරෙනවා.
එම අවධානමෙන් මිදීම සදහා මොවුන් ඉන්දියාවේ බැංගලෝර් වෙත පැමිණ මෙරටට පැමිණ තිබූ බවයි පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ.
ඔවුන් විසින් ගෙන ආ ගමන් මලු තුළ තිබූ සියලුම භාණ්ඩ ඉවත් කළ ද, පහසුවෙන් හඳුනාගත නොහැකි වන සේ, ඉතා සූක්ෂම ලෙස සකස් කළ ව්‍යාජ පතුල් තුළ මෙම කුෂ් මත්ද්‍රව්‍ය තොගය සගවා තිබූ බව රේගු නිලධාරීන් පැවසුවා.
ඔවුන් විසින් රැගෙනවිත් තිබූ මෙවැනි ගමන් මලු 04ක් තුළ කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 07යි ග්‍රෑම් 150ක ප්‍රමාණයක් සගවාගෙන රැගෙනවිත් තිබුණා.
මෙසේ අත්අඩංගුවට ගත් පිරිස සමග මෙම මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාරදීමට පියවර ගෙන තිබෙනවා.