Friday, April 26, 2024

General line - 0115112241

බැන්කි මූන් අවසන්! ජනපති මෛත්‍රී හෙට අමෙරිකාවට




එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 71වන මහා මණ්ඩල සැසිය ඇමතීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෙට අමෙරිකාව බලා පිටත්ව යාමට නියමිතයි.

ජනාධිපති ලේකම් කාර්යාලය පැවසුවේ විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු කටයුතු පිළිබඳ අමාත්‍ය මහින්ද සමරසිංහ සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා ඇතුළු දූත පිරිසක් ජනාධිපතිවරයා සමග මෙම සැසියට සහභාගි වන බවයි.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය ලබන 19 වෙනිදා සිට 26 වෙනිදා දක්වා පැවැත්වෙනවා. ජනාධිපතිවරයා සමුළුව ඇමතීමට නියමිතව ඇත්තේ ලබන 21 වෙනිදායි. මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය අමතන දෙවන අවස්ථාව මෙයයි.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය ප්‍රධාන කරුණු තුනකින් මෙවර වැදගත්කමක් උසුලනවා. මහා මණ්ඩල සැසියට සමගාමීව අමෙරිකාව හා ජගත් සංවිධානය එක්ව සංවිධාන කරන සරණාගතයින් සහ සංක්‍රමණිකයින් පිළිබඳ සමුළුව නිව්යෝර්ක් නුවරදී පැවැත්වීම ඉන් එක් කරුණක්.

එය සැප්තැම්බර් 19 වෙනිදා සහ 20 වෙනිදා පැවැත්වීමට නියමිතයි. එම සමුළුව අමෙරිකානු ජනාධිපති බැරක් ඔබාමා විසින් මෙහෙයවනු ලබන අතර ඔහු මෙවර එක්සත් ජාතීන්ගේ මහා සමුළුව අමතනු ලබන්නේ අවසන් වරට වීම ද විශේෂත්වයක්.

වසර 10ක් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා ලෙස කටයුතු කළ බැන්කි මූන් ද මෙවර මහා මණ්ඩල සැසියේදී සිය අවසන් දේශනය සිදුකිරීමට නියමිතයි.

මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද ලබන මස මුලදී නවසීලන්තයේ තෙදින සංචාරයකට එක්වනවා. ඒ, නවසීලන්ත රජයේ ආරාධනයකට අනුවයි. ඔක්තෝම්බර් පළමුවෙනිදා සිට 3 වෙනිදා දක්වා එම සංචාරය සිදුකෙරෙනු ඇති.