Saturday, April 27, 2024

General line - 0115112241

අධ්‍යාපන ඇමති ඇත්ත හංගනවලු




ස්ථාන මාරු නියෝග ලැබුණු සහ විදේශ පුහුණුව නිමකර පැමිණි වෛද්‍යවරුන්ගේ දරුවන්ට පාසල් ලබාගැනීම පිළිබඳ වූ ගැටළුව සමාජයෙන් වසන් කිරීමට අධ්‍යාපන අමාත්‍යවරයා පිළිකුල් සහගත උත්සහයක් දරමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරනවා.

එහි ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ සැබෑ ගැටළුව සඟවා හුදෙකලා වූ සිිද්ධියක් පමණක් ඉස්මතු කිරීමට අධ්‍යාපන අමාත්‍යවරයා උත්සහ දරණ බවයි.

ජාතික රෝහලේ සිට ළමා රෝහලට ස්ථාන මාරුවීමක් ලැබූ වෛද්‍යවරයෙකු සිය දරුවා රාජකීය විද්‍යාලයට ඇතුළත් කිරීමට ඉල්ලා සිටීම වැනි හුදෙකලා සිද්ධීන් පමණක් ගැන අධ්‍යාපන අමාත්‍යවරයා අදහස් දක්වන බවයි වෛද්‍ය නවීන්ද සොයිසා නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

වෛද්‍යවරුන්ගේ දරුවන්ට පාසල් ලබාදීම සඳහා රජයට කිසිඳු පිරිවැයක් දැරීමට සිදු වන්නේ නැහැ. ඒ හරහා රටේ සෞඛ්‍ය සේවයට ද විශාල පිටුවහලක් සිදු වනවා. එය හිටපු සෞඛ්‍ය අමාත්‍යවරුන් විසින් මනාව තේරුම්ගත් බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ. වෛද්‍යවරුන් සම්බන්ධයෙන් දැඩි විරෝධතා ආකල්පයක් දැක් වූ නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා පවා මෙම ගැටළුව විසඳීමට කැබිනට් පත‍්‍රිකාවක් සකස් කරනු ලැබු බවත් සඳහන් කළා.

ඉන් පසු සෞඛ්‍ය අමාත්‍යධුරයට පත් වූ වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ද මෙම ගැටළුව විසඳීමට පුද්ගලිකවම මැදිහත් වී තිබෙන බවත් පැවසුවා. වත්මන් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ද මෙම ගැටළුවට කඩිනමින් විසඳුම් ලබාදෙන බවට පොරොන්දුවක් ලබා දී ඇති බවයි වෛද්‍ය නවීන්ද සොයිසා පෙන්වා දෙන්නේ. එමෙන්ම ගැටළුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හමුවන බවට ජනාධිපතිවරයා ප‍්‍රකාශ කර තිබෙන බව ද එම නිවේදනයේ දැක්වෙනවා.