Wednesday, May 8, 2024

General line - 0115112241

“යහපත් පුරවැසියකු ලෙස සාධාරණයක් ඉටු කිරීම මගේ යුතුකමයි” – නුවන් කුලසේකර මරණ පරීක්ෂණයේ දී කී කතාව




ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක නුවන් කුලසේකර පැදවූ රථයකට යටවීමෙන් කොළඹ – නුවර පාරේ දී මියගිය දිනේෂ් අරවින්ද නිශ්ශංක තරුණයාගේ මරණය පිළිබඳ හදිසි මරණ පරීක්‍ෂණය රාගම රෝහලේ දී පැවැත්වුණා.

එහිදී සාක්‍ෂි දෙමින් මෝටර් රථය පැදවූ නුවන් කුලසේකර සඳහන් කර ඇත්තේ කිරිල්ලවල පසු කරනවාත් සමඟම එක්වරම පාරේ දකුණු පසින් යමක් තමන් ගමන් ගන්නා දෙසට විසිවී ඇවිත් රියේ ගැටුණ බවයි.

“පසුගිය සඳුදා (19) මා ගම්පහ සිට නිවෙස බලා යෑමට මෝටර් රියෙන් එන අතර සවස 3.30ට පමණ කිරිල්ලවල පසු කරනවාත් සමඟම එක්වරම පාරේ දකුණු පසින් යමක් මා යන දෙසට විසිවී ඇවිත් රියේ ගැටුණා. වම් අතට රථය ගැනීමට උත්සාහ කළත් නොහැකි වූයෙන් ක්‍ෂණිකව තිරිංග තද කළා. පසුව වම් පස පැති කණ්ණාඩියෙන් මා දුටුවා එම ස්ථානයේ සෙනඟ පිරෙනවා.

නැවතූ රියෙන් බැස එතැනට ගිය විටදී මා දුටුවා හිසට තුවාල සිදුවූ අයෙක් වැටී සිටිනවා. පිරිස කලබල කරාවි යැයි බියවී රිය එසේම තිබියදී මම අසල තිබූ කඩයකට ගොස් පොලිසිය එනතුරු සිටියා. ඒ වන විටත් කෙනෙක් පොලිසියට අනතුර පිළිබඳ දැනුම් දී තිබුණා. පොලිසිය පැමිණ රාජකාරි කළ පසුව එම නිලධාරීන් සමඟම පොලිසියට ගොස් කටඋත්තරයක් දුන්නා. ඉන්පසු මහෙස්ත්‍රාත්තුමා හමුවට ඉදිරිපත් කර ඇප ලබා දුන්නා.

පොලිසිය දැනුම් දුන් පරිදි අද උසාවියට ඉදිරිපත් වුණා. මාගේ දැනුම හැටියට මෙය වළක්වාගත නොහැකි අනතුරක්. කෙසේ වෙතත් යහපත් පුරවැසියකු ලෙස මගේ යුතුකම මියගිය අයගේ පවුලේ අයට සාධාරණයක් ඉටු කිරීමයි.” යනුවෙන් එහිදී වැඩිදුරටත් සාක්‍ෂි දුන් නුවන් කුලසේකර සඳහන් කර තිබෙනවා.

පශ්චාත් මරණ පරීක්‍ෂණය පැවැත්වූ රාගම ශික්‍ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි යූ.එල්.එම්.එස්. පෙරේරා ධාවනය වන රියක ගැටීමෙන් සිදුවූ බරපතළ තුවාල හේතුවෙන් මෙම මරණය සිදුවූ බවට නිගමනය කළා.