Friday, April 26, 2024

General line - 0115112241

ජල සැපයුම යථා තත්ත්වයට (UPDATE)




ප‍්‍රධාන ජල නලයක සිදුවු හදිසි බිදවැටීමක් නිසා කොළඹ නගරයේ ප‍්‍රදේශ රැසක අඩාල වී තිබූ ජල සැපයුම මේ වනවිට සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත් කර තිබෙනවා.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති කේ.ඒ. අන්සාර් මහතා ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වමින් සඳහන් කළේ අලුත් වැඩියා කටයුතු සඳහා 50 ක පමණ පිරිකස් යොදවා සිටි බවයි. කෙසේවෙතත් අඩු පීඩනය නිසා උස් ප්‍රදේශවලට ජල සැපයුමේ බාධා තවදුරටත් ඇති විය හැකි බවත් එය කඩිනමින් යථා තත්ත්වයට පත්වෙන බවත් සඳහන් කළා.


ජල සැපයුම තවත් කෙටි වෙලාවකින්

(Jul 6, 2016 @ 18:18)

ජල සැපයුම බිඳවැටී ඇති කොළඹ හා අවට ප‍්‍රදේශ බොහෝමයකට තවත් කෙටි වේලාවක් ඇතුළත ජල සැපයුම නැවත ලබාදිය හැකි බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

එහි සභාපති කේ.ඒ. අන්සාර් මහතා පැවසුවේ මෙම කටයුතු ඉතා සංකීර්ණ බවයි. එහෙයින් අවදානයෙන් යුතුව එම අලුත්වැඩියා කටයුතු සිදු කළ යුතු බවත් සඳහන් කළා.

ඇතැම් ප‍්‍රදේශවලට ජල සැපයුම යථා තත්ත්වයට පත්කිරීම සඳහා තවත් දිනක් පමණ ගතවනු ඇතැයි ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. එම ප්‍රදේශවල පිරිස සඳහා තවදුරටත් බවුසර් මගින් ජලය බෙදා හරින බවයි සඳහන් කළේ.

කොළඹ හා අවට ප‍්‍රදේශ බොහෝමයකට මෙලෙස ජල සැපයුම බිඳවැටී ඇත්තේ අඹතලේ සිට දෙහිවල දක්වා ජලය ගෙන යන ප‍්‍රධාන නල මාර්ගය තලංගම ඩිපෝව අසළදී පිපිරීමකට ලක්වීම හේතුවෙන්. ඊයේ (05) පස්වරුවේ මෙම පිපිරීම සිදුවුණා.

 


සවස 3 වෙනතුරු කොළඹට ජලය නැහැ

( Jul 6, 2016 @ 06:50)

කොළඹ සහ අවට ජලසැපයුම අත්හිටුවා ඇති ප‍්‍රදේශවල ජල සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට සවස 3 පමණ වනු ඇතැයි ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

අඹතලේ ජල පවිත‍්‍රාගාරයේ සිට දෙහිවල ජල සම්පාදන මධ්‍යස්ථානය දක්වා යන ප‍්‍රධාන නල මාර්ගය තලංගම ඩිපෝව අසලදී පිපිරීමකට ලක්වීම හේතුවෙන් ඊයේ (05) පස්වරුවේ සිට කොළඹ සහ අවට ප‍්‍රදේශ ගණනාවක ජලසැපයුම අත්හිටවනු ලැබුවා. පිපිරීමට ලක්ව ඇති ජල නළය පිළිසකර කිරීමේ කටයුතු මේ වනවිටත් සිදුවන බවයි ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ ප‍්‍රකාශකයෙකු නෙත් නිවුස් වෙත කියාසිටියේ.

මෙම ජල නළය පිපිරිමට ලක්වීම හේතුවෙන් දෙහිවල – ගල්කිස්ස නගර සභා සීමාව, වැල්ලවත්ත, කිරුළපන, පාමංකඩ, හැව්ලොක්, බම්බලපිටිය සහ කොල්ලූපිටිය ප‍්‍රදේශවල ජල සැපයුම ඊයේ පස්වරුවේ සිට විසන්ධි කෙරුණා. ඊට අමතරව පැලවත්ත, ජයන්තිපුර, මුල්ලේරියාව, අඹතලේ සහ කොහිලවත්ත යන ප‍්‍රදේශවලද ජල සැපයුම විසන්ධි වී ඇති බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පැවසුවේ.

ජල නළය යථා තත්ත්වයට පත් කිරීමට පැය 12 ක කාලයක් යනු ඇතැයි අපේක්‍ෂා කෙරුණද ඒ සදහා තවත් පැය 8 ක කාලයක් ගතවනු ඇති බවද ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ ප‍්‍රකාශකයෙකු නෙත් නිවුස් වෙත කියාසිටියා.