Saturday, April 27, 2024

General line - 0115112241

ලක්ෂ 38ක හෙරොයින් සමග සිසුන් දෙදෙනෙක් කොටු




හෙරොයින් ළඟ තබාගෙන සිටි මාලදිවයින් ජාතිකයින් දෙදෙනෙකු දෙහිවලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් ළඟ තිබූ හෙරොයින් ප‍්‍රමාණය

ග‍්‍රෑම් 382ක්. එහි වටිනාකම රුපියල් තිස් අටලක්ෂ විසි අටදහසක් පමණ බව ඇස්තමේන්තු කර තිබෙනවා. සැකකාර මාලදිවයින් ජාතිකයින් දෙදෙනා අධ්‍යාපන කටයුතු සඳහා වීසා ලබාගෙන ශ‍්‍රී ලංකාවට පැමිණි අයයි.

එක් අයෙකු 18වන වියේ ද අනෙක් තැනැත්තා 29වන වියේ ද පසුවනවා. ඔවුන් දෙදෙනාම ජාත්‍යන්තර අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන බවයි විමර්ශනවලදී හෙළි වී ඇත්තේ. අදාළ හෙරොයින් තොගය සිය රටට ගෙනයාම සඳහා ඔවුන් සැලසුම් කර තිබූ බවද හෙළි වී තිබෙනවා. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයට ලැබුණු තොරතුරකට අනුව අද (09) අලූයමයි වැටලීම සිදුකෙරුණේ.

ශ‍්‍රී ලංකාව, පාකිස්තානය සහ මාලදිවයින අතර සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරමක් පොලිසිය විසින් හෙළි කරගෙන තිබෙනවා. ඒ මාලදිවයින් ජාතිකයින් දෙදෙනාගෙන් ඒ පිළිබඳ කළ අනාවරණයකට අනුව බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසන්නේ. පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් මෙම වැටලීම සිදුකෙරුණා.