Friday, April 26, 2024

General line - 0115112241

උතුරට ඉල්ලුවේ ජාතික ගීයක් නොවේ! පළාත් ගීතයක්!




උතුරු පළාත වෙනුවෙන් වෙනම ජාතික ගීයක් තමන් ඉල්ලා නොසිටි බව උතුරු පළාත් සභාවේ සභාපති සී. වී. කේ. සිවඥානම් පවසනවා. ඇතැම් මාධ්‍ය ඉකුත් සෙනසුරාදා වාර්තාකර තිබූ ප‍්‍රවෘත්තියකට ප‍්‍රතිචාර දක්වමින් ඔහු කියා සිටියේ උතුරු පළාත වෙනුවෙන් පළාත් ගීතයක් නිර්මාණය කළ යුතු බව පමණක් තමන් යෝජනා කළ බවයි. එහෙත් උතුරු පළාත් සභාවේ සභාපතිවරයා උතුරු පළාතට වෙනම ජාතික ගීයක් ඉල්ලා සිටි බවට වැරදි අදහසක් අදාළ ප‍්‍රවෘත්තියේ සඳහන්ව තිබුණු බව ද ඔහු පැවසුවා.

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් සබරගමුව පළාත් ප‍්‍රධාන අමාත්‍ය මහීපාල හේරත්ගෙන් ද විමසීමක් කළා. ඔහු පැවසුවේ සබරගමුව පළාත් සභාවට වෙනම පළාත් ගීතයක් තිබෙන බවයි. එහෙත් සෑම විටම එය භාවිත කරන්නේ ජාතික ගීයට යටත්ව බව ද ඔහු පැවසුවා.

දකුණු පළාත් ප‍්‍රධාන අමාත්‍ය ශාන් විජේලාල් ද සිල්වා ද කියා සිටියේ ජාතික ගීයට යටත්ව භාවිත කරන්නේ නම් පළාත් ගීතයක් නිර්මාණය කිරීම වරදක් නොවන බවයි.