Saturday, April 27, 2024

General line - 0115112241

මාගම්පුර සිද්ධිය මාධ්‍ය වාර්තා කළ හැටි ආරක්ෂක ලේකම්ගේ අවධානයට




උද්ඝෝෂකයින් හම්බන්තොට මාගම්පුර වරායේ සිරකරගෙන සිටි නෞකා නාවික හමුදාව විසින් බේරා නොගත්තේ නම් ජාත්‍යන්තර වෙළඳාමට ද ඒ නිසා බාධා විය හැකිව තිබූ බව ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි පවසනවා.

මෙවැනි අවස්ථා සඳහා මැදිහත් වීමට නාවික හමුදාවට වගකීමක් මෙන්ම බලය ද තිබෙන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

නෞකා බේරා ගැනීමට කෙරුණු මෙහෙයුමේ දී මාධ්‍යවේදියෙකු පහරකෑමකට ලක්වීම සම්බන්ධයෙන් ද ආරක්ෂක ලේකම්වරයා මෙහිදී ප‍්‍රතිචාර දැක්වූවා.

එහිදී ඔහු සඳහන් කළේ නාවික හමුදාව සිදු කළේ සංවේදී කටයුත්තක් බවයි. එය පටිගත කරමින් අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය කිරීම මගින් අපකීර්තිය සිදුවන්නේ රටට බවද සඳහන් කළා. ඒ නිසාවෙන් මාධ්‍යවේදීන්ට ඉවත් වෙන්නැයි පැවසුවත් ඔවුන් ඉවත් නොවීම නිසා එවැනි තත්ත්වයක් ඇති වූ බවත් සඳහන් කෙරුණා.

හම්බන්තොට මාගම්පුර වරායේ ඇති වූ නොසන්සුන්තාව නිවරැදිව වාර්තා කිරීම සම්බන්ධයෙන් නෙත් එෆ්. එම්. රේඩියෝවට ප‍්‍රශංසාව පළ කරන බව ද ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි කියා සිටියා.

එහිදී ඔහු සඳහන් කළේ “මම හුගාක් සතුටු වෙනවා..මාධ්‍ය ආයතන කිහිපයක් අතරින් නෙත් එෆ්.එම් රේඩියෝව මෙම සිද්ධිය ඉතාම මධ්‍යස්ථව වාර්තා කිරීම පිළිබඳව. ඒ බව මම නිරීක්ෂණය කළා. රටේ අනෙකුත් මාධ්‍ය මිතුරන්ගෙන් වගේම ආයතනවලිනුත් මම ඉල්ලන්නේ හරියට අධ්‍යනය කරලා වාර්තාකරනය සිදු කරන්න කියලයි. අවසාන සිදුවීම විතරක් අරගෙන ඒක විතරක් වාර්තා කරන්න එපා.” යනුවෙනි.

මේ අතර මාධ්‍යවේදියෙකුට කෙරුණු අදාළ පහරදීම සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ (11) කියා සිටියා.