Friday, April 26, 2024

General line - 0115112241

තැපෑල අඩපණයි – විසි එක් දහසක් වර්ජනයේ




ප‍්‍රධාන ඉල්ලීම් 7ක් මුල්කර ගනිමින් තැපැල් සේවකයින් ඊයේ මධ්‍යම රාත‍්‍රියේ සිට පැය 48ක වැඩවර්ජනයක් ආරම්භ කළා.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ තැපැල් වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර පැවසුවේ අද දිනය තුළ කොළඹට ආසන්න තැපැල් කාර්යාල සහ දිවයිනේ අනෙකුත් සියළුම තැපැල් කාර්යාල වල සමස්ථ තැපැල් සේවකයන් රාජකාරී කටයුතු වලින් ඉවත් වීමට නියමිත බවයි.

මේ අතර ඊයේ මධ්‍යම රාත‍්‍රියේ සිට කි‍්‍රයාත්මක මෙම වැඩවර්ජනය හේතුවෙන් සියලුම තැපැල් දෙපාර්තමේන්තු සේවකයින්ගේ නිවාඩු අවලංගු කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් තැපැල්පති ඞී.එල්.පී.ආර්. අබේරත්න සඳහන් කළේ මහජන සේවා අඛණ්ඩව පවත්වාගෙන යාමේ අරමුණින් මෙම තීරණය ගත් බවයි.

මේ සම්බන්ධයෙන් ද නෙත් නිවුස් තැපැල් වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු චින්තක බණ්ඩාරගෙන් විමසීමක් කළා.

ඔහු පැවසුවේ නිවාඩු අවලංගු කළ ද විසි එක් දහසකට අධික සේවකයින් පිරිසක් වර්ජනයට එක්ව සිටින බවයි.

මේ අතර වැඩවර්ජනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් විෂය භාර අමාත්‍ය අබ්දුල් හලීම් සඳහන් කළේ ගැටලුව සම්බන්ධයෙන් අග‍්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා කිරීමට වුවද තමන් සූදානම් බවයි.