Friday, April 26, 2024

General line - 0115112241

උතුරු පළාත් සභාවේ සිවාජිලිංගම් යකා නටයි




අද (21) සවස උතුරු පළාත් සභාව තුළ උණුසුම්කාරී තත්ත්වයක් ඇති වුණා. එහිදී පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් සෙංකෝලය පැහැරගැනීමට උත්සහා කිරීමත් සමග සභාවේ තත්ත්වය වඩාත් උණුසුම්කාරී වූ බවයි අප වාර්තාකරු පැවසුවේ.

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ වැය ශීර්ෂය සම්මත කරගැනීමට ගිය අවස්ථාවේදී පළාත් සභා ගර්භය තුළ මෙම විශාල ගාලගෝට්ටිය ඇති වුණා.

මීට හේතුව වූයේ ප්‍රධාන අමාත්‍යවරයා මුලදී එක් මන්ත්‍රීවරයෙකු වෙනුවෙන් සංවර්ධන කටයුතු සදහා රුපියල් මිලියන දහයක් ලබාදෙන බවට පොරොන්දු වුවත් ඔහු එය අවසානයේදී මිලියන හයකට අඩු කිරීමයි.

උතුරු පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරණ මන්ත්‍රීවරුන් කීපදෙනෙකුද ප්‍රධාන අමාත්‍යවරයාට එරෙහිව අදහස් දක්වමින් ඔහුට සභාව තුළදීම බැණ වැදී තිබෙනවා.

ප්‍රධාන අමාත්‍යවරයාගේ ඉතා සමීපතම මන්ත්‍රීවරයෙකු වන එම්.කේ.ශිවාජිලිංගම් මන්ත්‍රීවරයාද  ප්‍රධාන අමාත්‍යවරයාට එරෙහිව සභාව තුළ උණුසුම්කාරී ලෙස කෑ ගසමින් මන්ත්‍රීවරයෙකුට රුපියල් මිලියන දහයම පොරොන්දු වූ පරිදි අවශ්‍ය බව පවසා තිබුණා.

යම් හෙයකින් රුපියල් මිලියන 9.99 ක් ලබා දුන්නද එය බාර නොගන්නා බවත් ඊට එරෙහිව පළාත් සභා ගර්භය තුළ උපවාස කරණ බවද මන්ත්‍රීවරයා පවසා තිබෙනවා.

මේ අවස්ථාවේදී ප්‍රධාන අමාත්‍යවරයා පළාත් සභා අරමුදලෙන් තවත් මිලියන දෙකක් ලබාදීමට කැමැත්ත පල කරත් ඊටද මන්ත්‍රීවරු එකග වී නැහැ.