Wednesday, May 8, 2024

General line - 0115112241

නොරොච්චෝලේ ගල්අඟුරු මිලදී ගැනීම නැවත විමසා බලයි




නොරොච්චෝලේ බලාගාරයට ගල්අඟුරු මිලදී ගැනීමේ ක‍්‍රමවේදය සම්බන්ධයෙන් නැවත විමසා බැලීමට ත‍්‍රිපුද්ගල කමිටුවක් පත්කර තිබෙනවා. ඒ, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා විසින්.

මොරටුව විශ්ව විද්‍යාලයේ කුලපති මහාචාර්ය කේ.කේ.වයි.ඩබ්ලිව්. පෙරේරා, මහාචාර්ය ලක්ෂ්මන් ආර්. වටවල සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විදුලි ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ මහාචාර්ය ජනක බී. ඒකනායක යන මහත්වරුන් මෙම කමිටුවේ සාමාජිකයින් වනවා.

ලබන 29 වෙනිදා වන විට ඔවුන්ගෙන් විමර්ශන වාර්තාවක් බලාපොරොත්තු වන බවයි අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා කියා සිටියේ. මෙමගින්, පවතින මතභේද සම්බන්ධයෙන් වඩා පැහැදිළි ප‍්‍රකාශයක් කිරීමට හැකිවනු ඇතැයි ද අමාත්‍යවරයා විශ්වාසය පළ කළා.

මේ අතර ගල්අඟුරු මිලදී ගැනීමේදී ලංකා විදුලිබල මණ්ඩලයේ සිදුවී ඇතැයි කියන අක‍්‍රමිකතා සම්බන්ධයෙන් වගකීම විදුලිබල විෂය භාර හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් භාරගත යුතු බවයි ඒකාබද්ධ විපක්ෂය පවසන්නේ. එහි පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මහතා අද (13) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටියා.

නොරොච්චෝලේ බලාගාරයට ගල්අඟුරු මිලදී ගැනීමේ ක‍්‍රමවේදය සම්බන්ධයෙන් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා ද ඉකුත් දා මාධ්‍ය වෙත පැහැදිළි කිරීමක් කළා. ඔහු පැවසුවේ මෙමගින් ශ‍්‍රී ලංකාවට කිසිඳු පාඩුවක් සිදුවී නොමැති බවයි.