Friday, April 26, 2024

General line - 0115112241

මහේන්ද්‍ර සිං දෝනි නායකත්වය අතහරී




එක්දින සහ පන්දුවාර විස්සයි විස්ස තරග සඳහාවූ ඉන්දීය කණ්ඩායමේ නායකත්වය අත්හැරීමට මහේන්ද්‍ර සිං දෝනි තීරණය කර තිබෙනවා.

ඔහු ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය අත්හැරියේ ඉකුත් 2014 වසරේදීයි. කෙසේ වෙතත් ඉන්දීය කණ්ඩායමේ එළැඹෙන එංගලන්ත සංචාරය සඳහා ද කඩුලු රකින්නෙකු සහ පිතිකරුවෙකු ලෙස එක්වීමට තමන් සූදානමින් සිටින බවයි ඔහු එරට ක‍්‍රිකට් පාලක මණ්ඩලය වෙත දැනුම් දී තිබෙන්නේ.

මේ වන විට 35 වන වියේ පසුවන මහේන්ද්‍ර සිං දෝනි එක්දින තරග 199 කදී ඉන්දීය කණ්ඩායම මෙහෙයවා තිබෙනවා.

ඒවායින් තරග 110 ක්ම ඉන්දියාව ජයගෙන ඇති අතර පරාජය වී ඇත්තේ තරග 74 ක් පමණයි.

පන්දුවාර විස්සයි විස්සේ තරග 72 කදී ද මහේන්ද්‍ර සිං දෝනි ඉන්දීය කණ්ඩායමට නායකත්වය දී තිබෙනවා. ඒවායින් ඉන්දියාව ජයගත් තරග සංඛ්‍යාව 41 ක්. පරාජය වූ තරග ගණන 28 ක් පමණයි.

ඉන්දීය ක‍්‍රිකට් කණ්ඩායමේ සාර්ථකම නායකයා ලෙස ද ඇතැම් විචාරකයින් මහේන්ද්‍ර සිං දෝනි හඳුන්වා දෙනවා.