Saturday, April 27, 2024

General line - 0115112241

තීරණය මැතිව්ස් සහ චන්දිමාල් අතේ




දකුණු අප‍්‍රිකාව සමග කේප්ටවුන් හි පැවැත්වෙන ටෙස්ට් ක‍්‍රිකට් තරගය ජයගැනීමට හෝ ජය පරාජයෙන් තොරව අවසන් කිරීමට නම් ඇන්ජලෝ මැතිව්ස්ට සහ දිනේෂ් චන්දිමාල්ට වැඩි වගකීමක් පැවරී ඇතැයි ක්‍රිකට් විචාරකයින් පවසනවා.

ජයග‍්‍රහණය සඳහා ශ‍්‍රී ලංකා කණ්ඩායමට ලැබී ඇති ඉලක්කය ලකුණු 507ක්. ඊයේ තරගය නතර කරන විට ඔවුන් කඩුලු 4ක් දැවී ලකුණු 130 ක් රැස්කරගෙන සිටියා.

ඒ අනුව තරගය ජයගැනීමට නම් ශ‍්‍රී ලංකා කණ්ඩායම තවත් ලකුණු 377ක් ලබාගත යුතුයි. ඔවුන්ට ඉතිරිව ඇත්තේ කඩුලු 6 ක් පමණයි.

ජය පරාජයෙන් තොරව තරගය නිමා කිරීමට නම් අද (05) සහ හෙට (06) දින දෙකම ක‍්‍රීඩා කිරීමට ශ‍්‍රී ලංකා කණ්ඩායමට සිදුවනවා.

ඊයේ තරගය නිමා වන විට නොදැවී පන්දුවට පහරදෙමින් සිටියේ ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල්. මැතිව්ස් ලකුණු 29ක් ද, චන්දිමාල් ලකුණු 28ක්ද ලබාගෙන සිටියා.

ඔවුන් දෙදෙනාගෙන් පසු නම් දැරූ පිතිකරුවෙකු ලෙස තවත් ඉතිරි වී සිටින්නේ උපුල් තරංග පමණයි. රංගන හේරත්, සුරංග ලක්මාල්, නුවන් ප‍්‍රදීප් සහ ලහිරු කුමාර අනතුරුව පන්දුවට පහරදීමට නියමිතව සිටිනවා.

පළමු ඉනිමේදී ශ‍්‍රී ලංකා කණ්ඩායම සියලුදෙනා දැවී රැස්කරගත්තේ ලකුණු 110ක් පමණයි. දකුණු අප‍්‍රිකාව පළමු ඉනිමේදී ලකුණු 392ක් ද දෙවන ඉනිමේදී කඩුලු 7ක් දැවී ලකුණු 224ක් ද ලබාගත්තා.