Friday, April 26, 2024

General line - 0115112241

විමල්ගේ ආරක්ෂාවට වෙනම කුටියක්




රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණු පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශ කොළඹ මැගසින් බන්ධනාගාරයේ ඊ වාට්ටුවේ රදවා සිටිනවා. බන්ධනාගාර දෙපාර්තමේන්තු ආරංචිමාර්ග පැවසුවේ ඊ වාට්ටුවේ රැඳවියන් 50 ක පමණ පිරිසක් රදවා සිටින බවයි. මන්තී‍්‍රවරයාගේ ආරක්‍ෂාව වෙනුවෙන් ඊ වාට්ටුවේ සිර මැදිරියක වෙනම ඔහු රදවා ඇති බවද බන්ධනාගාර ආරංචිමාර්ග අනාවරණ කළා. මීට පෙර පාර්ලිමේන්තු මන්තී‍්‍ර උදය ගම්මන්පිල සහ නාමල් රාජපක්‍ෂ රදවා සිටියේද මෙම වාට්ටුවේ බවයි පැවසෙන්නේ.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශ ජනවාරි 24 වනදා තෙක් රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණේ රජයේ වාහන අවභාවිත කිරීමේ චෝදනා යටතේයි. පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත් මන්තී‍්‍රවරයා කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම නියෝගය නිකුත් කෙරුණා. රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට කුළි පදනම යටතේ ලබාගත් වාහන 40 ක් දේශපාලන සහ පෞද්ගලික කටයුතුවලට යොදාගෙන රජයට රුපියල් මිලියන 91 ක මුදලක් පාඩු කළ බවටයි මන්තී‍්‍රවරයාට චෝදනා එල්ල වුණේ.