Friday, April 26, 2024

General line - 0115112241

කොකාකෝලා ලොකු වැඩකට ලංකාවට එන්න සැරසෙයි




ශ්‍රී ලංකාව කොකාකෝලා සමාගමේ නිෂ්පාදන මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට සූදානම් බව එහි ආසියා පැසිෆික් කලාපීය ප්‍රධානීන් පවසනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ කලාපයේ වැඩිම කොකාකෝලා ඉල්ලුමක් ඇති ඉන්දියාව වෙත සිය නිෂ්පාදන අපනයනය කිරීම සඳහා ශ්‍රී ලංකාව යොදා ගත හැකි බවයි. මෙමගින් ශ්‍රී ලංකාවට විශාල විදේශ විනිමයක් සේම රැකියා අවස්ථා රැසක් ද උදාකර ගත හැකි බව පෙන්වා දෙනවා.

එම සමාගමේ ආසියා පැසිෆික් කලාපීය සමූහ ව්‍යාපාරයේ සභාපති ජෝන් මර්ෆි (Jhon Murphy) සහ විධායක උප සභාපති අයිරියල් ෆිනන් (Irial Finan) සහ මුදල් අමාත්‍ය රවී කරුණානායක  සමග පැවැති හමුවක දී මෙම කරුණු අනාවරණ කෙරුණා.

ශ්‍රී ලංකාවේ පවතින ස්වභාවික ජල සම්පත් හා තේ ­ආශ්‍රිත නිෂ්පාදනය ප්‍රයෝජනයට යොදා ගෙන, කොකාකෝලා නිෂ්පාදන කම්හල් මෙරට ඇති කර, ඒවා ප්‍රති අපනයනයට ඇති ඉඩ ප්‍රස්ථා සම්බන්ධයෙන් ද පිරිස, අමාත්‍ය රවී කරුණානායක සමග සාකච්ඡා කර තිබෙනවා.

සිය නිෂ්පාදන සඳහා විශාල වෙළෙඳපොළක් ඉන්දියාව තුළ පවතින බැවින් ඒ සඳහා ශ්‍රී ලංකාව නිෂ්පාදන මධ්‍යස්ථානයක් ලෙස දියුණු කිරීම කොකාකෝලා සමාගමේ නියෝජිතයන්ගේ යෝජනාවයි.

විදේශ ආයෝජන සඳහා වූ බදු අනුපාත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ක්‍රියාකරණ ආකාරය පිළිබඳ උනන්දුවක් දක්වන එම සමාගම් ප්‍රධානීන් ශ්‍රී ලංකා රජය දැනට විදේශ ආයෝජකයන් සම්බන්ධයෙන් පවත්වාගෙන යන මිත්‍රශීලී සබඳතාව  ඇගයීමට ද ලක් කර තිබෙනවා.