Saturday, April 27, 2024

General line - 0115112241

නඩු දැමීම විනෝදාංශයක් බව බැඳුම්කරයටත් නඩු දැමූ පාලිත හිමියෝ පවසති




බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් කෝප් කමිටුවේ වාර්තාව අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ පවරා ඇති නඩුව පාර්ලිමේන්තුවේදී මෙන්ම ඉන් පිටතදී ද මේ වන විට කතාබහට ලක්වෙමින් තිබෙනවා.

පාර්ශ්ව කිහිපයක් ඊයේ (23) කියා සිටියේ පාර්ලිමේන්තුවේ අද (24) පැවැත්වෙන විවාදය කල්දැමීමේ අදහසින්ම මෙම නඩුව පවරා ඇති බවයි.

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් විමසා සිටියා නඩුවේ පෙත්සම්කාර පූජ්‍ය තිනියාවල පාලිත හිමියන්ගෙන්. තමන් වහන්සේ මෙම නඩුව පැවරුවේ පාර්ලිමේන්තු විවාදයක් කල්තැබීමේ අදහසින් නොවන බව උන්වහන්සේ එහිදී අවධාරණය කළා.

“මම කරුණු 73ක් යටතේ තමයි මේ නඩුව දාලා තියෙන්නේ. මේක ඊයේ දාපු නඩුවක් නෙමෙයි. අද පාර්ලිමේන්තුවේ විවාද නවත්වන්න මට ඊයේ නඩු දාන්න බැහැ. කඩේකට ගිහින් බඩුවක් ගන්නවා වගේ නඩුවක් දාන්න බැහැ. කොප් වාර්තාව නිකුත් වෙලා මාසයක් ඇතුළත නඩුව පවරන්න ඕනේ . මාසයත් ඇතුළත මම නඩුව දැම්මා. නඩුව විභාගයට ගන්න මම දින 3ක් ඉල්ලා තිබුණා. එකක් තමයි 20 , 24, 26. මේ මොහොත දක්වාම මට ඒකට උත්තරයක් ලැබිලා නැහැ”.

මෙම නඩුව පැවරීමට පාදක වූ කරුණු පිළිබඳව ද පූජ්‍ය තිනියාවල පාලිත හිමියන් මෙහිදී කරුණු දැක්වූවා.

“කෝප් කමිටුවේ 26 දෙනෙක් ඉන්නවා. 15දෙනෙක්ගෙන් පාද සටහන් නැතුව , තවත් 9දෙනෙක් පාද සටහන් ඇතිව අත්සන් තියලා තියෙනවා මේ කෝප් කමිටු වාර්තාවට. මේ වාර්තාවේ 4.2 , 6.1 , 6.2 කියන වගන්තිවල ව්‍යාකූලත්වයත් තියෙනවා. දෙවැනි කාරණය තමයි කෝප් කමිටුවේ ඉන්න ඔක්කොම නඩුකාරයෝ නෙමෙයි. පාර්ලිමේන්තුවේ අපි මේ සම්බන්ධයෙන් දැන් මාස ගානක් තිස්සේ දැක්කා ඇමතිවරු , මන්ත්‍රීවරු තමන්ගේ අභිමතය පරිදි පිට්ටනියක පිනිම්ගහනවා වගේ එක එක්කෙනා එක එක අදහස් මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කරනවා. නමුත් ඕනෑම දෙයක් සම්බන්ධයෙන් නැවැරදි , නිරවුල් තීන්දුවක් දෙන්න ඕනේ අධිකරණය. ඒ නිසා මම මේ කාරණය අධිකරණයට යොමුකළා”.

පූජ්‍ය තිනියාවල පාලිත හිමියන් මෙම නඩුව පවරා ඇත්තේ අග‍්‍රාමාත්‍යවරයාගේ හෝ වෙනත් දේශපාලනඥයින්ගේ උවමනාවකට බවටද චෝදනාවක් පවතිනවා. එහෙත් එය ද ප‍්‍රතික්ෂේප කරන බවයි උන්වහන්සේ කියා සිටියේ.

“මම මේ පුරුදු වෙන්න මේ නඩුව දැම්මා නෙමෙයි. මම මීට කළින් හෙජින් ගනුදෙනුව සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ ගරු ජනාධිපතිතුමාගේ සමයේදී ඒ වෙච්ච වංචා දූෂණ පිළිබඳව මම නඩුවක් දැම්මා. ඊට අමතරව මම විදුලි බිල අඩුකිරීමට නඩුවක් දැම්මා. මේක මම විනෝදාංශයක් හැටියට ඒක මම කරනවා. එක එක්කෙනා තමන්ගේ විනෝදෙට කරන දේවල් තියෙනවනේ. ඒක නිසා මට මේක රනිල් වික්‍රමසිංහ මහත්තයා කිව්වෙත් නැහැ. වෙනත් මැති , ඇමතිවරයෙක් කිව්වෙත් නැහැ. මම හිතුවා මෙතන මොකක්හරි වැරැද්දක් වෙලා තියෙනවා කියලා”.

අධිකරණයෙන් සාධාරණ තීන්දුවක් තමන් වහන්සේ අපේක්ෂා කරන බවද පූජ්‍ය තිනියාවල පාලිත හිමියන් මෙහිදී කියා සිටියා.