Friday, April 26, 2024

General line - 0115112241

වැසිකිළි ටිකට් නිසා කොළඹ කොටුවේ පුංචි ගැටුමක්




කොළඹ කොටුව බැස්ටියන් මාවත බස් නැවතුම්පොළේ පොදු වැසිකිළි භාවිත කිරීම සඳහා අය කෙරෙන ගාස්තු හේතුවෙන් අද (24) එහි ගැටුමක් ඇති වී තිබෙනවා.

වැසිකිළි භාවිත කළ කාන්තාවක් ගාස්තු ලෙස රුපියල් 10ක් ගෙවා ඇති නමුත් සේවකයින් ප‍්‍රකාශ කර ඇත්තේ ගාස්තුව දැන් රුපියල් 20ක් දක්වා වැඩිකර ඇති බවයි.

අදාළ කාන්තාව සහ සේවකයින් අතර මෙහිදී උණුසුම් බහින්බස්වීමක් සිදුවී තිබෙනවා. පසුව අවට සිටි පිරිස් ද ඊට සම්බන්ධ වී ඇති බවයි වාර්තා වුණේ.

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් අදාළ වැසිකිළිවල පරිපාලන කටයුතු සිදුකරන ජාතික ගමනාගමන කොමිෂන් සභාවෙන් ද විමසීමක් කළා.

එහි ප‍්‍රකාශිකාවක් පැවසුවේ වැසිකිළි ගාස්තු වැඩි කිරීමක් සිදුකර නොමැති බවයි. නිවැරදි ගාස්තුව රුපියල් 10ක් බවද එහෙත් සේවකයින් වැඩිපුර ගාස්තු අය කරන බවට මීට පෙර ද පැමිණිලි ලැබුණු බවද ඇය කියා සිටියා.

එලෙස ලැබුණු පැමිණිලි සම්බන්ධයෙන් වැසිකිළි නඩත්තු කිරීමේ ටෙන්ඩරය ලබා දී ඇති පුද්ගලයින් කැඳවා අවවාද කිරීමක් ද කළ බවයි වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.

අද ඇති වූ ගැටුම නිසා නැවත වරක් ඒ පිළිබඳ විමසා බලන බවද ඇය පැවසුවා.