Saturday, April 27, 2024

General line - 0115112241

බලෙන් උපත් පාලන උපකරන යොදන වෛද්‍යවරියගේ පෙර වැරදිත් සොයයි




දරු ප‍්‍රසූතිය සඳහා දඹුල්ල මූලික රෝහලට පැමිණෙන මව්වරුන්ට ඔවුන්ගේ කැමැත්තකින් ද තොරව එහි ප‍්‍රසව හා නාරිවේද වෛද්‍යවරියක විසින් උපත් පාලන උපකරණ සවි කරන බවට ලැබී ඇති පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

එම රෝහලේ වෛද්‍ය අධිකාරී වෛද්‍ය චාල්ස් නුගවෙල පැවසුවේ මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ශාන්ති සමරසිංහ යටතේ අදාළ විමර්ශනය සිදු කෙරෙන බවයි.

ඒ සඳහා විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විත කණ්ඩායමක් දැනටමත් දඹුල්ල මූලික රෝහලට පැමිණ සිටින බවයි මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ. 

මේ සම්බන්ධයෙන් මධ්‍යම පළාත් සභාවේදීද අද (07) අදහස් පළ වුණා. මධ්‍යම පළාත් කර්මාන්ත අමාත්‍ය ප‍්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් එහිදී කියාසිටියේ විධිමත් විමර්ශනයක් සිදුකර ලැබී ඇති පැමිණිලිවල සත්‍ය අසත්‍යතාව වහාම රටට හෙළිකළ යුතු බවයි.

එවැනි විමර්ශනයක් දැනටමත් සිදුවන බවත් ලැබී ඇති පැමිණිලිවල කිසියම් සත්‍යතාවක් ඇතැයි හැඟී යන බවත් මධ්‍යම පළාත් ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක පැවසුවා. 

මේ අතර මාධ්‍ය වෙත අදහස් දක්වමින් මධ්‍යම පළාත් සෞඛ්‍ය අමාත්‍ය බන්දුල යාලේගම පැවසුවේ අදාළ වෛද්‍යවරිය මීට පෙර සේවය කළ ස්ථානවලදී කටයුතු කර ඇති ආකාරයද විමසා බැලිය යුතු බවයි.

කැමැත්තකින් තොරව මව්වරුන්ට උපත් පාලන උපකරණ සවි කිරීමේ මෙම අකටයුත්ත සඳහා කිසියම් රාජ්‍ය නොවන සංවිධානයක අනුදැනුම ලැබී තිබේ දැයි විමසා බැලිය යුතු බව මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණා.