Friday, April 26, 2024

General line - 0115112241

වෛද්‍ය නොසැලකිල්ලක් නිසා අතක් අහිමි වූ කාන්තාවක් වෙනුවෙන් නෙත් නිවුස් කළ විශේෂාංගය (VIDEO)




වෛද්‍ය නොසැලකිල්ලක් නිසා අතක් අහිමි වූ මාතර අචලා පි‍්‍රයදර්ශනී තවමත් පීඩාවට පත්ව සිටිනවා. 

අදට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් නෙත් නිවුස් කළ සොයා බැලීමකදී හෙළි වුණේ නීතිඥවරියක ලෙස දිවුරුම් දී සිටියත් ස්ථිර රැකියාවක් හෝ තවමත් ඇයට ලැබී නොමැති බවයි. 

සිදුවූ අනතුර සම්බන්ධයෙන් නඩු කටයුතු දිග්ගැස්සීම නිසාද තමන් පීඩාවට පත්ව සිටින බව නෙත් නිවුස් කණ්ඩායම හමුවේ අචලා පි‍්‍රයදර්ශනි කියාසිටියා. 

අචලා පි‍්‍රයදර්ශනි සිය ගෙවත්තේදී ඇද වැටී අනතුරට ලක්වුයේ 2013 වසරේදීයි. 

පසුව ඇය මාතර මහ රෝහලට ඇතුළත් කෙරුණු අතර අතක් කපා ඉවත් කෙරුණේ එහි කාර්ය මණ්ඩලයේ නොසැලකිල්ල නිසා බවටයි අචලා පි‍්‍රයදර්ශනි අධිකරණයේ නඩු පවරා තිබෙන්නේ. 

සිය දුබලතාව පෞද්ගලික වාසි සදහා යොදා ගැනීමට ඇතැම් අය උත්සාහ කළ බවද එහෙත් අවංකව උදව් කිරීමට ඉදිරිපත් වුයේ කිහිප දෙනෙකු පමණක් බවද ඇය නෙත් නිවුස් වෙත කියාසිටියා.

නෙත් නිවුස් කරන මෙම අනාවරණයට පෙර පවතින තත්ත්වයන් සම්බන්ධයෙන් අප වගකිවයුතු කිහිප දෙනෙකුද දැනුවත් කළා. 

ඊට ප‍්‍රතිචාර දක්වමින් පාර්ලිමේන්තු මන්තී‍්‍ර චතුර සේනාරත්න පැවසුවේ අසාධාරණයට ලක්ව සිටින අචලා පි‍්‍රයදර්ශනීට සාධාරණය ඉටු කිරීමට තමන්ද මැදිහත් වන බවයි.

බාධක මැඩගෙන අචලා පි‍්‍රයදර්ශනී පෙරට ආ ගමන පිළිබද නෙත් නිවුස් කෙටි වීඩියෝවක්ද සකස් කළා.

සියලූ කාන්තාවන්ට ගෞරවයක් සහ දිරිගැන්වීමක් ලෙස ජාත්‍යන්තර කාන්තා දිනය යෙදී ඇති අද අප එය අන්තර්ජාලයට මුදාහරිනවා.