Friday, April 26, 2024

General line - 0115112241

ගොවි වන්දිවලින් කොටසක් කපා ගත් හේතුව ඇමති කියයි




මහ කන්නයේ වගා හානි සඳහා ගොවීන්ට ලබාදුන් වන්දි මුදලින් කිසියම් කොටසක් රක්ෂණාවරණයක් සඳහා අඩු කර ගත්තේ ගොවීන්ගේම යහපතට බව කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක පවසනවා.

අමාත්‍යවරයා ඒ බව පැවසුවේ සමස්ත ලංකා ගොවිජන සම්මේලනය ඉකුත්දා කළ චෝදනාවකට ප‍්‍රතිචාර දක්වමින්. 

ගොවි රක්ෂණාවරණය සඳහා ගොවීන්ගේ වන්දි මුදලින්ම මුදල් අඩු කර ගැනීම අනුමත කළ නොහැකි බවයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනය පැවසුවේ. ඒ අනුව අඩුකර ගත් කොටස ද ගොවීන්ට නැවත ගෙවිය යුතු බව ඔවුන් අවධාරණය කළා.

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් අමාත්‍ය දුමින්ද දිසානායකගෙන් විමසා සිටියා. මහ කන්නයේ වගා හානි සඳහා ගොවීන්ට ලබාදුන් වන්දි මුදලින් කිසියම් කොටසක් රක්ෂණාවරණයක් සඳහා අඩු කර ගත්තේ ගොවීන්ගේම යහපතට බවට අමාත්‍යවරයා කියා සිටියේ එම විමසීමේදීයි. එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ රජයකට මෙවැනි විශාල මුදලක් සෑම ස්වභාවික විපතක් වෙනුවෙන්ම ගෙවීම සිදු කළ නොහැකි බවයි. ඒ හේතුවෙන් ලබන කන්නයේ රක්ෂණාවරණ  ගාස්තුව අය කරගත් බවත් පැවසුවා.

ගොවි රක්ෂණාවරණයේ ප‍්‍රතිලාභ මෙවර පෙර අවස්ථාවලට වඩා වැඩිකර ඇතැයි ද අමාත්‍ය දුමින්ද දිසානායක මෙහිදී කියා සිටියා. 

ඒ අනුව අක්කරයකට රුපියල් හතළිස් දහසක රක්ෂණාවරණයක් ගොවීන්ට ලැබෙන බවයි ඔහු පෙන්වා දුන්නේ. පෙර අවස්ථාවල දී ගොවීන්ට ලැබුණේ අක්කරයකට රුපියල් දස දහසක රක්ෂණාවරණයක් පමණයි.