Friday, April 26, 2024

General line - 0115112241

අගමැති ඉන්දියාවට! ගමන ගැන ජනිපෙට සැකයක්! ඕවා බොරු එජාපය කියයි




නිළ සංචාරයක් සඳහා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද පස්වරුවේ ඉන්දියාව බලා පිටත්ව ගියා. ඒ, හත් දෙනෙකුගෙන් යුත් දූත පිරිසක්ද සමගයි.  මෙම සංචාරයේදී අග‍්‍රාමාත්‍යවරයා ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවනු ඇති. ඒ, ද්වි පාර්ශවික කරුණු පිළිබඳ සාකච්ඡා කිරිමටයි. මීට අමතරව අග‍්‍රාමාත්‍යවරයා ඉන්දීය රජයේ ජ්‍යේෂ්ඨ අමාත්‍යවරුන්ද හමුවී සාකච්ඡා කිරීමටයි නියමිතව ඇත්තේ. 

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ මෙම ඉන්දීය සංචාරය, ත‍්‍රිකුණාමලය තෙල් ටැංකි හා ඛනිජ තෙල් සේවක වැඩවර්ජනය සම්බන්ධයෙන් අද දිනයේ පැවති මාධ්‍ය හමු කිහිපයකදී අදහස් පළ වුණා. ජාතික නිදහස් පෙරමුණ කැඳවූ මාධ්‍ය හමුවේදි පක්ෂයේ මාධ්‍ය ප‍්‍රකාශක මොහොමඞ් මුසම්මිල් ප‍්‍රකාශ කළේ අග‍්‍රාමාත්‍යවරයාගේ ඉන්දීය සංචාරය පිළීබඳ සැකයක් පවතින බවයි. 

ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අත්සන් කිරීමට නියමිත ගිවිසුමක් සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් පළ කෙරුණා. 

මේ අතර, අග‍්‍රාමාත්‍යවරයාගේ ඉන්දීය සංචාරය හා ත‍්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සම්බන්ධයෙන් එල්ලවන චෝදනාවන්ට එක්සත් ජාතික පක්ෂය අද පිලිතුරු ලබා දුන්නා. අගමැතිවරයාගේ ඉන්දියානු සංචාරයේදී එක්ටා ගිවිසුම පිළිබඳ සාකච්ඡා කෙරෙන බවයි  සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවති  මාධ්‍ය හමුවේදී  පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර පැවසුවේ.

තෙල් ටැංකි පිළිබඳ තීන්දුවක් ගන්නේ නම් ඒ පිළිබඳ සියලුම පාර්ශව සමඟ සාකච්ජා කරන බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ. දේශපාලන බඩගෝස්තරවාදය වෙනුවෙන් ජනතාව නොමඟ යැවීම අනුමත කළ නොහැකි බව පැවසූ මන්ත්‍රීවරයා අවධාරණය කළේ භාවිතයට නොගන්නා තෙල් ටැංකි යම්කිසි ආයෝජනයක් සඳහා භාවිත කිරීමෙහි කිසිදු වරදක් නොමැති බවයි.