Friday, April 26, 2024

General line - 0115112241

කැබිනට් සංශෝධනයෙන් පසු ජනපති කතා කරයි




මිත‍්‍රශීලිව සහ කැපවීමෙන් කටයුතු කරමින් රටේ අභිවෘද්ධිය සඳහා වූ සාමුහික වගකීම ඉටු කිරීමට එක් වන්නැයි අද (22) දිවුරුම් දුන් අමාත්‍යවරුන්ගෙන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉල්ලීමක් කරනවා.

ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ මිනිසාගේ යහපත් වෙනස් වීම් තුළින් පමණක් සමාජය සහ රට වෙනස් කළ හැකි බවයි. නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමෙන් පසු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

නැවුම් බලාපොරොත්තුවකින් යුතුව රටක් ලෙස ඉදිරියට යාමට කැබිනට් මණ්ඩලය සංශෝධනය කිරීමට තීරණය කළ බවයි ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේ. 

අද සිදු කෙරුණු කැබිනට් මණ්ඩල සංශෝධනය යටතේ අමාතයංශ 09ක් සඳහා සහ එක් රාජ්‍ය අමාත්‍ය ධූරයක් සඳහා නව අමාත්‍යවරුන් පත් කෙරුණා.

දිවුරුම් දිමේ උත්සවය පැවැත්වුණේ ජනාධිපති කාර්යාලයේදීයි. ඒ අනුව මංගල සමරවිර මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා.

සමාජ සවිබල ගැන්වීම් සුබ සාධන සහ උඩරට උරුමයන් පිළිබඳ අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ එස් බී දිසානායකයි.

ඩබ්ලිව් ඞී ජේ සෙනෙවිරත්න කම්කරු වෘත්තිය සබඳතා සහ සබරගමුව සංවරධන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නා.

විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ රවී කරුණානායකයි. වරාය හා නාවික කටයුතු අමාත්‍යවරයා ලෙස මහින්ද සමරසිංහ දිවුරුම් දුන් අතර ඉඩම් හා පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ලෙස ගයන්ත කරුණාතිලක දිවුරුම් දුන්නා. 

ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාතයවරයා ලෙස දිවුරුම් දුන්නේ අර්ජුන රණතුංගයි. චන්දිම  වීරක්කොඩි නිපුණතා සංවර්ධන හා වෘත්තිය පුහුණු අමාත්‍යවරයා ලෙසත් තිලක් මාරපන සංවර්ධන කාර්යයන් පිළිබඳ අමාත්‍යවරයා ලෙසත් ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා.

මීට අමතරව මහින්ද අමරවීර ධීවර අමාත්‍ය ධුරයට අමතරව මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ද දිවුරුම් දෙනු ලැබුවා.

මෙම අවස්ථාවට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් එක්ව සිටියා.