Saturday, April 27, 2024

General line - 0115112241

ගංඟාවල පහළ නිම්නයේ ජල මට්ටම ඉහළට - අවධානයෙන් සිටින්නැයි අනතුරු ඇඟවීම් - "මෝරා" සුළි කුණාටුව අද පස්වරුවේ...




දිස්ත‍්‍රික්ක 15කට බලපා ඇති ආපදා තත්වය හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 164ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. 

පීඩාවට පත්ව සිටින සංඛ්‍යාව හාරලක්ෂ හැත්තෑ එක් දහස් 542ක්. 

ආරක්ෂිත ස්ථාන 336ක පුද්ගලයින් හැත්තෑපන් දහස් දෙසිය තිස්හය දෙනෙකු රඳවා සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ. 

පුද්ගලයින් 104 දෙනෙකු තවමත් අතුරුදන්ව සිටින බවද සඳහන්. 

මේ අතර විපතට පත්ව සිටින ජනතාව බේරා ගැනීම සඳහා සහ ඇතිවිය හැකි අවදානම් තත්වයන් පාලනය කිරීම සඳහා ත‍්‍රිවිධ හමුදාව අඛණ්ඩව කටයුතු කරමින් සිටින බවයි හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් රොෂාන් සෙනෙවිරත්න ප‍්‍රකාශ කළේ. 

ගංවතුර තත්වය පහව යාමෙන් පසු ළිං පිරිසිදු කිරීමේ කටයුතු ආරම්භ කරන බවයි නාවික හමුදාවේ මෙහෙයුම් අංශයේ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරී කමාන්ඩර් ජානක සමරනායක පැවසුවේ.

මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ‘‘ මෝරා’’ සුළි කුණාටුව හේතුවෙන් අද පස්වරුවේ ද වැසි ඇති විය හැකි බවයි. 

පවතින තත්වය සම්බන්ධයෙන් තවදුරටත් අවධානයෙන් පසුවන ලෙසටයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙන්නේ. 

අද පස්වරුවේ ද වැසි ඇද හැළුණහොත් ගංඟාවල ජල මට්ටම සම්බන්ධයෙන් පවතින තත්වය වෙනස් විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. 

එහි ජල විද්‍යා අධ්‍යක්‍ෂිකා පේ‍්‍රමා හෙට්ටිආරච්චි සඳහන් කළේ බොහෝ ගංඟාවල පහළ නිම්නයේ ජල මට්ටම වැඩි වී ඇති බවයි. 

පවතින තත්වය සම්බන්ධයෙන් ගංඟා ආශ‍්‍රිතව ජීවත් වන ජනතාව වැඩි අවධානයකින් පසුවිය යුතු බවටයි ජනතාවට දැනුවත් කෙරුණේ.

මේ අතර අයහපත් කාලගුණයෙන් ආපදාවට ලක්වී ඇති මාර්ග පිළිබඳ දැනුම් දීම සඳහා පැය 24 පුරා ක‍්‍රියාත්මක මාර්ග සංවර්ධන අධිකාරිය විශේෂ දුරකතන අංක දෙකක් හඳුන්වා දී තිබෙනවා. 1968 හා 1969 එම දුරකතන අංකයි.