Friday, April 26, 2024

General line - 0115112241

ගංවතුරෙන් "දුෂ්කරම ගමක" සියලු සබඳතා බිඳවැටිලා - ගම ගැන හොයන්න ගුවනින් යයි (PHOTOS)




හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් ළඟාවීමට නොහැකිව තිබූ ලංකාගම ට ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කර ගොස් තිබෙනවා.

ඒ එම ගම්වැසියන්ට අවශ්‍ය ආහාර හා පානීය ජල බෝතල් ලබා දීම සඳාහායි. 

ලංකාගම ගාල්ල දිස්ත්‍රික්කයේ දුෂ්කරම ගම්මානය වන අතර නෙළුවේ සිට කිලෝ මීටර 12ක් පමණ ඈතින් මේ ගම්මානය පිහිටා තිබෙනවා.

ගාල්ල දිස්ත්‍රික්කයේ දුෂ්කරම ගම්මානය වන මෙම ගම්මාන සම්බන්ධයෙන් විශේෂයෙන් සොයා බලන්නැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහත සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා  උපදෙස් ලබාදී තිබෙනවා.

අධික වැසි ඇතිවීමත් සමග ලංකාගම සමග තිබූ සියලු සම්බන්ධතා බිඳවැටී තිබුණා. ලංකාගම පවුල් 300ක් හා ඒ අවට පවුල් 600 කට වැඩි පිරිසක් ආපදා තත්ත්වය හේතුවෙන් කොටු වී සිටි අතර කිසිඳු ආකාරයකින් මෙම ගම්මානය වෙත ළඟා වීමට නොහැකිව තිබුණා.

එමෙන්ම විදුලිය බිඳවැටීම හා සන්නිවේදන කටයුතු ඇණහිටීම හේතුවෙන් ගම්වැසියන් සමග තිබූ සම්බන්ධතා ද ඇණ හිට තිබුණා. 

නෙළුව දූලි ඇල්ලේ නායයාමකින් පුද්ගලයන් අට දෙනකු මියගියේ ද ලංකාගම ආසන්නයේ පිහිටි තේ කර්මාන්තශාලා භූමියකයි. විපතටපත්ව සිටි පුද්ගලයන් බේරාගැනීමට ගොස් මියගිය ගුවන් හමුදා නිලධාරියා අනතුරට පත්වූයේ ද ලංකාගම ආසන්නයේ ස්ථානයක දී වීම විශේෂත්වයක්.

ලංකාගම වෙත පැමිණීමට ඇති මාර්ග සියල්ල ගංවතුර හේතුවෙන් විනාශ වී, ගං ඉවුරද කැඩී ගොස් තිබූ අතර යතුරුපැදියකටවත් මේ ගම්මානයට ළඟාවිය නොහැකි තත්ත්වයක් පවතිනවා . 

ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසන්නේ ලංකාගම ට එක් වෛද්‍යවරයෙකු සිටිය ද ගංවතුර හේතුවෙන් ඉදිරියේ දී ඇතිවිය හැකි රෝග සඳහා අවශ්‍ය බෙහෙත් වර්ග ගුවනින් ඒ වෙත යැමීමට අවශ්‍ය බවයි.