Saturday, April 27, 2024

General line - 0115112241

කුසලානය රැගෙන යන්නේ ඉන්දියාවද? පාකිස්තානයද? - තරගය ඇරඹීමටත් පෙර පිටිය උණුසුම්




ICC ශූරයන්ගේ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ඉන්දියාව සහ පාකිස්තානය අතර අද (18) පැවැත්වෙනවා.

ඒ, ලන්ඩන්හි  ඕවල් කි‍්‍රඩාංගණයේදීයි.

එම තරගය ශී‍්‍ර ලංකා වේලාවෙන් පස්වරු 3.00 ට ආරම්භවීමට නියමිතයි. ශුරයන්ගේ කුසලාන කි‍්‍රකට් තරගාවලි ඉතිහාසයේ ආසියානු රටවල් දෙකක් අවසන් මහා තරගයකට කී‍්‍රඩා කරන දෙවන අවස්ථාව මෙයයි.

මීට පෙර 2002 වසරේදී ශී‍්‍ර ලංකාව සහ ඉන්දියාව ICC ශූරයන්ගේ කුසලාන කි‍්‍රකට් තරගාවලියේ අවසන් මහා තරගයකට එක්වුණා. 

ඉන්දීය කණ්ඩායම ශූරයින්ගේ කුසලාන කි‍්‍රකට් තරගාවලි ඉතිහාසයේ අවසන් මහා තරගයකට කී‍්‍රඩා කරන සිව්වන අවස්ථාව මෙයයි.

ඉන් දෙවතාවක්ම ඔවුන් ශූරයින්ගේ කුසලානයේ ශූරතාව දිනාගැනීමට සමත්ව තිබීම විශේෂත්වයක්.

පාකිස්තානය ICC ශූරයින්ගේ කුසලාන කි‍්‍රකට් තරගාවලියක අවසන් මහා තරගයකට එක්වන්නේ පළමු වතාවටයි. මෙවර ICC ශූරයින්ගේ කුසලාන තරගාවලියේ ශූරතාව දිනාගන්නා කණ්ඩායමට හිමිවන මුදල් ත්‍යාගය අමෙරිකානු ඩොලර් මිලියන දෙකයි දශම දෙකක්.

අනුශූරයින්ට අමෙරිකානු ඩොලර් මිලියන එකයි දශම එකක මුදලක් පිරිනැමෙනවා. 

අද තරගය සඳහා පාකිස්තාන වේගපන්දු යවන ක‍්‍රීඩක මොහොමඩ් අමීර් ක‍්‍රීඩා කරන බවයි පකිස්තාන ක‍්‍රිකට් පාලක මණ්ඩලය පැවසුවේ. ආබාධයකට ලක්ව සිටීම හේතුවෙන් එංගලන්තය සමග පැවති අවසන් පූර්ව තරගයට ඔහු ක‍්‍රීඩා කළේ නැහැ.  

අද තරගයට ඉන්දීය කී‍්‍රඩක රවීචන්ද්‍රන් අශ්වින්ගේ සහභාගිත්වයද අවිනිශ්චිත බවයි වාර්තා වන්නේ.

ක්‍රිකට් විචාරකයන් පෙන්වා දෙන්නේ අද තරගය පුරා උණුසුම් මුහුණුවරක් රැඳී පවතිනු ඇති බවයි. තරගය තමන් සතු කර ගැනීම සඳහා ඉන්දියාව සහ පාකිස්තානය එකිනෙකාට නොදෙවෙනි රහස් මෙහෙයුමක් දියත් කරනු ඇති බවද පෙන්වා දෙනවා.

විශේෂයෙන් ඉන්දියාව සහ පාකිස්තාන ක්‍රීඩා ලෝලීන් වඩාත් සංවේදී නිසා අද තරගය දෙපිළටම දැඩි පීඩනයක් ඇති කරන බවද විදෙස් විචාරකයින් පෙන්වා දෙනවා.