Friday, April 26, 2024

General line - 0115112241

ජාතික උරුමයක් වන වව්නියාවේ ජීවමාන මානව සාක්ෂියක් විනාශයි (PHOTOS)




ඉතිහාසයේ මානව වර්ගයා සම්බන්ධයෙන් සාක්ෂි සැපයූ ජාතික උරුමයක් ලෙස පැවති වවුනියාව,මාමඩුව, අග්බෝපුර මෙගලිතික හෙවත් සුමේරියන් සොහොන් විවිධ පිරිස් විසින් මේ වනවිට විනාශ කරමින් සිටින බව වාර්ථා වනවා.  

ජාතික උරුමයක් දැනුවත්ව හෝ නොදැනුවත්ව විනාශ කිරීම තුළින් ජාතියේ හිමිකම විනාශවන බැව් නොරහසකි.

ඉතිහාසයේ මානව වර්ගයා සම්බන්ධයෙන් සාක්ෂි සැපයූ ජාතික උරුමයක් ලෙස පැවති වවුනියාව,මාමඩුව, අග්බෝපුර මෙගලිතික හෙවත් සුමේරියන් සොහොන් විවිධ පිරිස් විසින් මේ වනවිට විනාශකරමින් පවතිනවා.

අග්බෝපුර තේක්ක රක්ෂිතය තුළ පිහිටි සුමේරියන් සොහොන මෙරට ජීවත්වූ ආදි මානව වර්ගයාගේ ඉතිහාසය පිළිබඳව ජීවමාන සාක්ෂි සැපයූ ස්ථානයක් බවට පුරාවිද්‍යා නිලධාරීන් හදුන්වාදී තිබෙන අතර, සොහොන් බිම තුළ හදුනාගත් ආදි මානවයින්ගේ සොහොන් 89 පමණ පුරාවිද්‍යා නිලධාරීන් සංරක්ෂණය කිරීම සදහා සලකුණු කොට තිබු බැව් ප්‍රදේශවාසීන් පැවසනවා.

ප්‍රදේශවාසීන් පැවසුවේ අග්බෝපුර ගම්මානයේ අක්කර 25 භූමි ප්‍රදේශයක ව්‍යාප්තව පවතින සුමේරියන් සොහොන් බිම තුළ  දින කිහිපයකට පෙර සිට වවුනියාව වන සංරක්ෂණ නිලධාරීන් හා දැව සංස්ථාවේ නිලධාරීන් විසින් පුරාවිද්‍යා නිලධාරීන්ගේ අවසරයකින් තොරව තේක්ක දැව කැපීමේ ව්‍යාපෘතියක් ආරම්භ කොට ඇති බවයි.

තේක්ක දැව කැපීම සිදුකරන අතරතුර ඩෝසර් හා බැකෝ යන්ත්‍ර යොදාගනිමින් ආදී මානවයින්ගේ සොහොන් බිම් තුළ ආවරණ ගල් ගලවා සොහොන් භූමිය විනාශ කොට ඇති බැව්ද ගම්වාසීන් සදහන් කළා.

පුරාවිද්‍ය නිළධාරී අචාර්ය ශිරාන් දැරණියගල මහතා ඇතුළු කණ්ඩායමක් 1970 වර්ෂයේ අදාළ සොහොන් බිම් සම්බන්ධයෙන් පරීක්ෂා කොට ඇති අතර,අදාළ සොහොන් වසර එක්ලක්ෂ පනස්දහසක් පමණ පැරණි බැව් අනාවරණය කොටගෙන ඇති බැව් පුරාවිද්‍යා විශ්ලේශකයින් පවසනවා.

ප්‍රදේශවාසීන් පැවසූවේ පුරාවිද්‍යාව පිළිබඳ දැනුමැති අචාර්යවරුන් එලෙස සඳහන් කළ ස්ථානයක් විනාශ කොට ඇති බවක් පුරාවිද්‍ය නිළධාරීන් නොදන්නා බවයි.

සොහොන් භූමියේ දැව කැපීම පමණක් සිදුකළා නම් පුරාවිද්‍යා ස්ථානයට සිදුවන විනාශය අවම වන්නට තිබූ නමුත්, ගස් කැපීම සිදුකරන කොන්ත්‍රාතකරුවන් පුරාවිද්‍යා නිලධාරීන් සලකුණුකොට තිබෙන සොහොන් සියල්ල ද හාරා විනාශකිරීම තුළින් ජාතික උරුමයක්  වන මෙගලතික සුමේරියන් සොහොන් මේවනවිට විනාශවී අවසන් බවද ගම්වාසීන් පවසනවා.

ප්‍රාග් ඓතිහාසික සොහොන් ලෙස හදුන්වා සලකුණු කොට ඇති ස්ථාන බැකෝයන්ත්‍ර යොදාගනිමින් අඩි දෙකත් හතරත් අතර ප්‍රමාණයට හැරීම සිදුකොට ඇති අතර දැව සංස්ථාවේ සේවකයින් ප්‍රදේශවාසීන් වෙත පවසා ඇත්තේ කපාදමන ලද තේක්ක ගස් නැවත දඵලා ඒම වැළැක්වීමට ගස් මුලින් උපුටා දැමීමට එලෙස සිදුකරන බවයි.

තේක්ක ගස් නොමැති ස්ථානවල සුමේරියන් සොහොන් හාරා විනාශකොට ඇති බව ප්‍රදේශවාසීන් පවසන අතර වන සංරක්ෂණ හා දැව සංස්ථාවේ නිළධාරීන් අදාළ ස්ථානයේ සිදුවූ විනාශය පිළිබඳ  විරෝධතා මතුවීමත් සමඟ සුමේරියන් සොහොන් ලෙස සලකුණු කොට බැකෝ යන්ත්‍රවලින් ගලවා ඉවත්කර තිබූ කළු ගල් කැබලි රහසිගතව ඉවත්කිරීම මේ වන විට සිදුකොට ඇති බැව්ද ප්‍රදේශවාසීන් සඳහන් කරනවා.

ජනතාව පවසන්නේ පුරාවිද්‍ය නිළධාරීන් අදාළ විනාශය නවතා දැමීමට කටයුතු නොකිරීම ගැටළුවක් වන බවයි.

ප්‍රාග් ඓතිහාසික සොහොන් භූමිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වු  වවුනියාව මඩුකන්ද ශ්‍රි ධම්මරතන පිරිවෙනෙහි හිටපු පරිවෙණාධිපති පූජ්‍ය කිරිගල්වැව විමලසාර නාහිමි සොහොන් භූමියට සිදුව ඇති විනාශය සම්බන්ධයෙන් මෙලෙස පවසනවා.

"වැව් නිමා පුරවරයේ මාමඩුව අග්බෝපුර මෙගලතික් යුගයේ සොහොන් නොහොත් සුමේරියන් සොහොන් අවුරුදු එක්ලක්ෂ පනස්හතර දහසක් පැරණි බවට පුරාවිද්‍යාවෙන් තහවුරු කරලා තිබෙනවා. පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමියන්, හිටපු පුරාවිද්‍යා කොමසාරිස් ආචාර්ය ශිිරාන් දැරණියගල මහත්මයා වැනි පුරාවිද්‍යා ආචාර්ය , මහචාර්යවරුන් නොයෙක් අදහස් උදහස් ඉදිරිපත් කරලා තියෙනවා. ලංකාවේ සිංහලයාගේ අනන්‍යතාව තහවුරුකරන්න තිබූ එකම භූමිය තමයි අතීතයේ පිහිටි රාජ්‍යයට අයත්ව තිබූ මේ මෙගලිතක් නැතිනම් සුමේරියානු සොහොන. "

"එදා අක්කර 25 භූමි ප්‍රමාණයකින් යුත් මෙම සොහොන පුරාවිද්‍යාවට වෙන්කරලා තිබුණේ. මේ දක්වා එහි පරීක්ෂණ කටයුතු සිදුකරා. නොයෙක් මාධ්‍යවල මේ පිළිබද විස්තර පළවී තිබෙනවා. මෙයට අමතරව වවුනියාව පාවක්කුලම ප්‍රදේශයේ තිබෙන සොහොනත් මෙයට සමානවනවා. ලංකාවේ ජීවත්වූ යක්ෂ, නාග හා දේව යන ගෝත්‍රවල ජනතාවගේ තොරතුරු මෙයින් හෙළිවෙනවා ."
 
"කාබන් 14 පරීක්ෂාවකදී ලංකාවෙන් පැරණිම මිනිස් හිස්කබල් හමුවූ එකම මෙගලතික් සොහොන තමයි මේ අග්බෝපුර සුමෙරියන් සොහොන. ඒ නිසා මේක ජාතික අනන්‍යතාව තහවුරු කරන්න තිබූ වන්නියේ ජනතාවගේ උරුමයක්ව පැවති දෙයක් තමයි මේ සොහොන.මෑත කාලයේ නිධන් හොරුන්ගේත් විවිධ පුද්ගලයින්ගේ වාණිජ මානසිකත්වය හේතුවෙන් අද වෙන විට මෙම සුමේරියන් සොහොන විනාශ කොට අවසන්. මේ වන විට විවිධ පාර්ශව ඒ තිබූ ගල් හාරා විනාශ කරදමලා. ගස් ගලවන මුවාවෙන් විනාශයට පත්කරලා මෙය ජනතාවගේ අතීතය විනාශකිරීමක් හා වන්නියේ ජනතාවගේ උරුමය නැතිකිරීමක් බව කිවයුතුයි."

"අපගේ ජාතීන් විසින් රැකිය යුතු ලෝක උරුමයක් ලෙස තමයි අපට මාමඩුව අග්බෝපුර සුමේරියන් සොහොන. මෙය රැකීම ප්‍රදේශයේ ජනතාවත් , ණැනවත් පුද්ගලයින් සිටිනවානම් ඔවුන්ගේ අවධානය යොමුවිය යුතුයි. දේශපාලන හා රාජ්‍ය නිලධාරීන් මෙම ස්ථානය රැකගැනීම සදහා කඩිනමින් ක්‍රියාකළ යුතුයි."

සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව වන සංරක්ෂණ ප්‍රදේශය අඩවි වන නිලධාරී එස්.එම්.එච් සේනානායක මහතාගෙන් විමසීමි.
 
"මාමඩුව, අග්බෝපුර ඉඩම වන සංරක්ෂණය සතු ඉඩමක් එහි හෙක්ටයාර දහයක් අප නීත්‍යනූකූලව නිදහස් කළා. දැව සංස්ථාවට එහි තිබෙන තේක්ක දැව කැපීමට. අපි දන්නේ නැහැ සොහොනක් තියනවා කියලා. එහෙම නම් මුරකරුවෙකු හෝ යොදන්න තිබුණා. පුරාවිද්‍යාව මෙම ස්ථානය පිළිබඳව අප දැනුුවත් කළෙත් නැහැ."

"අවුරුදු ගානකට පෙර මේ භූමියේ තේක්ක වගාවක් වගාකළා. දැන් දැව සංස්ථාවට බාරදුන්නා කපන්න. මා එම ස්ථානයට ගොස් පුරාවිද්‍යා නිලධාරීන්ගෙන් විමසීමක් කළා මේ ස්ථානය සම්බන්ධයෙන්.ඔවුන් කිව්වා සොහොන් වගයක් තිබෙනවා කියලා. නමුත් ඒ පිළිබඳ කවුරුත් පෙන්නලා දුන්නෑ. නමුත් මේ පිළිබඳ අනෙක් වගකීම රාජ්‍ය දැව සංස්ථාව සතුයි. "

"වන සංරක්ෂණ නිලධාරීන් පසුව දැව සංස්ථා නිළධාරීන්ට දැනුම් දුන්නා මේ ස්ථානයේ සොහොන් වගයක් තියනවා කියලා. ඩෝසර් යොදා නොගෙන ගස් කපන්න කියලා අපි දැනුම් දුන්නා. වැඩි විස්තර කොළඹ පිහිිටි අපේ වනසංරක්ෂණ තොරතුරු නිලධාරියාගෙන් ලබාගන්න." 

සුමේරියන් සොහොන විනාශය කිරීම පිළිබඳ  වවුනියාව පුරාවිද්‍යා ගවේෂණ සහකාර අධ්‍යක්ෂ  ඕ. ආර් . ජයතිලක මහතාගෙන් විමසීමි.

"අපට මෙවැනි විනාශයක් සම්බන්ධයෙන් තවම වාර්තාවෙලා නෑ. මා දැන් ක්‍රියාත්මක කර මේ ස්ථානය පිළිබඳ සොයාබලනවා. කාටවත් මෙවැනි ස්ථානයක් හාරන්න බැහැ. පුරාවිද්‍යා ස්ථානයක් පිළිබඳ දැන්වීම් පුවරුවක් යොදා තිබෙනවානම් කාටවත් හිතුමතේ හාරන්නට හෝ විනාශකරන්නට බැහැ. "

"පැහැදිලිව මේ ස්ථානය පරීක්ෂා කොට එවැනි දෙයක් සිදුවෙලා තිබෙනවා නම් අදාළ නිලධාරීන් හට පුරාවිද්‍යා විනාශයක් සිදුකළ බවට සලකලා නීතිය ක්‍රියාත්මක කරනවා." 

අනිවාර්යෙන් පුරාවිද්‍යා පනතට අනුව නීතිය ක්‍රියාත්මක කරන්න අපි බැදී සිටිනවා.