Saturday, April 27, 2024

General line - 0115112241

දුම් රහිත දුම්කොළ නිෂ්පාදන සියල්ල අද සිට ලංකාවේ තහනම්

තරංග රුක්ෂාන් ජයසේකර




දුම් රහිත දුම්කොළ නිෂ්පාදනය  කිරීම, ආනයනය, විකිණීම හෝ විකිණීම සඳහා ප‍්‍රදර්ශනය කිරීම අද (19) සිට සම්පූර්ණයෙන්ම තහනම් කර තිබෙනවා.

දුම් රහිත දුම්කොල නිෂ්පාදන තහනම් කරමින් 2006 අංක 27 දරන පනතේ සඳහන් තහනම් දුම්කොළ පිළිබඳ නියෝගය දැඩිව ක‍්‍රියාත්මක කිරීමටයි දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී අධිකාරිය තීරණය කර ඇත්තේ. 

ඒ අනුව දුම්කොළ ආශ‍්‍රිත නිෂ්පාදන මෙන්ම දුම්කොළ සහිත බුලත්විට ද නිෂ්පාදනය සහ විකිණීම තහනම්වනු ඇති.

මේ අනුව මාවා,  බාබුල්, හාන්ස්, පාම්පරා සහ ගුට්කා ආදී දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන මෙන්ම පැණි රස ගන්වන හෝ වර්ණ ගන්වන හෝ රස ගන්වන දුම්කොළ අඩංගු දුම්වැටි හෝ දුම්කොළ අඩංගු ඉලෙක්ට්‍රොනික දුම්වැටි ද මේ යටතේ තහනම් බවයි එම අධිකාරිය පැවසුවේ. 

මෙම පනතේ විධි විධාන අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, ආහාර පරීක්ෂකවරුන්, සුරා බදු නිලධාරීන් හා පොලිස් නිලධාරීන් බලය ලත් නිලධාරින් ලෙස කටයුතු කරනු ඇති. 

දුම් රහිත දුම්කොළ නිෂ්පාදන බොහොමයක දුම් කොළ සහ පුවක් අඩංගු වනවා. මෙම ද්‍රව්‍යන් දෙකම පළමු වන කාණ්ඩයේ පිළිකා කාරක ලෙස සෞඛ්‍ය සංවිධානය මගින් වර්ගීකරණය කර තිබෙනවා.

දුම්කොළ ආශ‍්‍රිත රෝග හේතුවෙන් දෛනිකව පුද්ගලයින් මිය යන බවයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨයේ පීඨාධිපති ඩබ්ලිව් එම් තිලකරත්න ප‍්‍රකාශ කළේ.

පිළිකා පිළිබඳ ජාතික ලේඛන අනුව ලියාපදිංචි වී ඇති පිළිකා රෝගීන්ගෙන් සියයට 14.3 ක් මුඛ පිළිකා රෝගීන් වනවා.

වාර්ෂිකව මිය යන සංඛ්‍යාව ද දහසකට අධිකයි. වාර්ෂිකව පිළිකා රෝහලෙන් වාර්තා වන මුඛ පිළිකා රෝගීන් සංඛ්‍යාව දෙදහස් හාරසියකට ආසන්නයි.