Friday, April 26, 2024

General line - 0115112241

දූෂණ චෝදනා නිසා පාකිස්තාන අගමැති ධුරයෙන් ඉල්ලා අස් වෙයි  




ධුරයේ කටයුතු කිරීමට නුසුදුසු බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කිරීමත් සමග පාකිස්තාන අගමැති නවාස් ෂරීෆ් එම ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

දූෂණ චෝදනා සම්බන්ධයෙන් පැවති විමර්ශනවලින් අනතුරුව පාකිස්තාන අගමැතිවරයා එම ධුරයේ කටයුතු කිරීමට නුසුදුසු බව එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

අගමැතිවරයාගේ දරුවන් හා විදේශීය සමාගම් අතර සබඳතා පැවති බව පැනමා ලිපිගොනුවලින් අනාවරණය වීමත් සමග ඔහුගේ පවුලේ වත්කම් පිළිබඳ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අදාළ තීන්දුව දෙනු ලබන අවස්ථාවේ ඉස්ලාමාබාද් අගනුවර ආරක්ෂාව තර කර තිබෙනවා. 

සිය දරුවන් නීත්‍යානුකූල ලෙසින් ලන්ඩන් නුවර නිවාස මිලදී ගෙන තිබෙන බව පවසන නවාස් ෂරීෆ්, ඒ කිසිවක් තමන්ට අයත් දේපොළ නොවන බව ද අවධාරණය කර තිබෙන්නේ.

අගමැතිවරයාගේ බලය යොදාගනිමින් නීති විරෝධී ලෙසින් වත්කම් උපයා ගන්නා බවට විරුද්ධ පක්ෂ, ඔහුගේ පවුලේ සාමාජිකයන්ට චෝදනා කරන අතර එබැවින් අගමැතිවරයා පදවියෙන් ඉල්ලා අස් විය යුතු බවටයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙන්නේ.