Friday, April 26, 2024

General line - 0115112241

හිටපු ජනපතිනියට පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වීමට බාධාවක් නෑ




හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අත්තනගල්ල ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව සංවිධායකවරිය ලෙස පත්කර තිබෙනවා.

, නිදහස් පක්ෂය විසින් පත් කරන ලද නව ආසන සංවිධායකවරුන් අතරටයි.

මේ සම්බන්ධයෙන් ස්ථාන කිහිපයකදීම අද (13) අදහස් පළ වුණා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ පෙරමුණ කැවූ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර කියා සිටියේ හිටපු ජනාධිපතිවරිය පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වීමට නෛතික බාධාවක් නොමැති බවයි.

අද (13) පැවති මාධ්‍ය හමුවක දී කඩුවෙල මහනගර සභාවේ හිටපු නගරාධිපති ජී එච් බුද්ධදාස ද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.

අත්තනගල්ල ආසනයේ සංවිධායක කම හිටපු ජනාධිපතිනියට ලබාදීමෙන් කිසිඳු වරදක් නොමැති බවයි ඔහු කියා සිටියේ.

නව ආසන සංවිධායක ධුර ලබාදීමේ දී හිටපු සංවිධායකවරුන් බොහෝ දෙනෙකුට එම ධුර හිමිවූයේ නැහැ.

හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න ද ඒ අතරට අයත්. ඔහු දැරූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණමඩුව ආසනයේ නව සංවිධායකවරයා ලෙස පත්කර ඇත්තේ හිටපු පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාරයි.

මන්ත්‍රී ධුරය දැරූ සමයේ ගුරුවරියක දණ ගැස්වූ බවට ඔහුට චෝදනා ද එල්ල වුණා.

මතුගම ආසන සංවිධායක ධුරය දැරූ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගමද එම ධුරයෙන් ඉවත් කර තිබෙනවා.

ඒ වෙනුවට පත්කර ඇත්තේ සුමිත්‍රා ප්‍රියංගනීයි. පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලූත්ගමගේට නාවලපිටිය සංවිධායක ධුරය අහිමි වුණා.

එහි නව සංවිධායක වන්නේ පළාත් සභා මන්ත්‍රී එච් ඒ රණසිංහයි. මෙම ඉවත් කිරීම් දෙක සම්බන්ධයෙන් අමාත්‍ය සරත් අමුණුගමගෙන් මාධ්‍යවේදීන් අද (13) විමසීමක් කළා.

එහිදී අමාත්‍ය සරත් අමුණුගම කියා සිටියේ එය පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ තීරණයක් බවයි.

අදාළ සාමාජිකයන් තම පක්ෂය නියෝජනය නොකරන්නේ නම් ඡන්දයක් හමුවේ ඔවුන් ඉවත් කර නව සංවිධායකවරුන් පත් කළ යුතු බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.

කොළඹ දිස්ත්‍රික්කයේ නව සංවිධායකවරයෙකු ලෙස හිටපු පළාත් සභා මන්ත්‍රී ඉන්දික කෝරළගේද පත්කර තිබෙනවා.

නීති විරෝධී සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබු අතර නෙත් එෆ් එම් බැලූම්ගල වැඩසටහනින්ද ඒ පිළිබකරුණු අනාවරණ කළා.

රත්තොට ආසනයේ නව සංවිධායක ලෙස පත්කර ඇත්තේ චින්තන ඒකනායකයි. ඒ, මීට පෙර එම ධුරය දැරූ ඔහුගේ පියා වන හිටපු අමාත්‍ය නන්දිමිත්‍ර ඒකනායක වෙනුවටයි.

උජිත් අනුරාධ මාතලේ ආසනයේ නව සංවිධායක වනවා. ඔහු පත්කර ඇත්තේ හිටපු නියෝජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක වෙනුවටයි.

 

අම්පාර බටහිර බල ප්‍රදේශයේ සංවිධායකවරයා ලෙස පත් කර ඇත්තේ කීර්ති වීරසිංහයි. ඔහු හිටපු අග්‍රාමාත්‍ය දී මූ ජයරත්න මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක්.

ආන්දෝලනයට තුඩුදුන් මත්කුඩු කන්ටේනරයක් වරායෙන් නිදහස් කිරීම සහා ලිපියක් නිකුත් කළ බවට චෝදනා එල්ල වූයේ ඔහුටයි.

අමාත්‍ය එස් බී දිසානායකගේ පුත්‍රයා වන නාරද බණ්ඩාර දිසානායක හඟුරන්කෙත සම සංවිධායකවරයෙකු ලෙස පත්කර තිබෙනවා.

හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වන ඩී ඩබ්ලිව් ප්‍රතාපසිංහ පත්කර ඇත්තේ මාතර දිස්ත්‍රික් සංවිධායකවරයෙකු ලෙසයි.

අමාත්‍ය මහින්ද සමරසිංහගේ සම්බන්ධීකරණ ලේකම් වන සුරංග ප්‍රසාද් හිදැල්ලආරච්චි කළුතර දිස්ත්‍රික් සංවිධායකවරයෙකු ලෙස පත්කර තිබෙනවා.

මේ වනවිට පොදුජන පෙරමුණට එක්ව සිටින බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නිමල් චන්ද්‍රරත්න වෙනුවට පාර්ලිමේන්තු මන්ත්‍රී මලිත් ජයතිලක බණ්ඩාගම ආසන සංවිධායකවරයා ලෙස පත් කෙරුණා.

ගාල්ල හිටපු නගරාධිපති මෙත්සිරි ද සිල්වා ගාල්ල දිස්ත්‍රික් සංවිධායකවරයෙකු ලෙස පත්කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

...............................

චන්ද්‍රිකා අත්තනගල්ලට - මලිත් බණ්ඩාරගමට (13-10-2017 14:48)

හිටපු ජනාධීපතිනී චන්ද්‍රකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ  අත්තනගල්ල නව ආසන සංවිධායක ලෙස පත් කර තිබෙන බව වාර්තා වනවා.

එමෙන්ම බණ්ඩාරගම නව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක ලෙස  පත්කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී මලිත් ජයතිලකයි.

ඊයේ (12) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නව ආසන සංවිධායක වරුන් පත් කරනු ලැබුවා.