Friday, April 26, 2024

General line - 0115112241

අගමැති සූදානමින් සිටියත් 'බැදුම්කර නිකුතුව' ගැන කොමිසම සාක්ෂි විමසීම නවතයි




ප‍්‍රශ්නගත බැදුම්කර නිකුතුව පිළිබඳ ජනාධිපති කොමිසමේ සාක්‍ෂි විමසීම අදින් අවසන් කළා. එහි සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටි. චිත‍්‍රසිරි ඒ බව අද (17) නිල වශයෙන් දැනුම් දුන්නා.

කෙසේවෙතත් අවශ්‍ය වුවහොත් අග‍්‍රාමාත්‍යවරයාද කොමිසම හමුවට කැඳවා සාක්‍ෂි විමසීමට හැකි බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ. 

බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ සොයා බැලීම සඳහා පත් කෙරුණු ජනාධිපති කොමිසම හමුවේ ඕනෑම අවස්ථාවක පෙනි සිටීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සූදානම් බව මීට පෙර අග්‍රාමාත්‍ය කාර්යාලය පෙන්වා දුන්නා.

ජනාධිපති කොමිසම ඉදිරියේ කරුණු විමසන අවස්ථාවන්හිදි අග්‍රාමාත්‍යවරයා පිළිබඳව ද තොරතුරු සඳහන් වීම ඊට හේතුවයි.

එබැවින් කොමිසමට අවශ්‍ය ඕනෑම අවස්ථාවක ඒ පිළිබඳ කරුණු පැහැදිලි කිරීමට අග්‍රාමාත්‍යවරයා සූදානමින් සිටින බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය වැඩිදුරටත් පැහැදිළි කර සිටියේ.

2015 වසරේ පෙබරවාරි මස පළමු වැනිදා හා 2016 වසරේ මාර්තු මස 31 වැනිදා අතර කාලය තුළ සිදුවූ බව කියන භාණ්ඩාගාර බැදුම්කර නිකුතුව පිළිබඳ විමර්ශන කිරීමටයි ජනාධිපතිවරයා මෙම කොමිසම පත් කළේ.

ඒ, මාස 3 ක කාලයක් සඳහායි. එහෙත් පසුව අවස්ථා දෙකකදි කොමිසමේ කාලය දීර්ඝ කිරීමට ජනාධිපතිවරයා පියවර ගත්තා. 

මේ අතර බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සාක්ෂි ලබාදුන් දේපළ වෙළෙඳාම් සමාගමක අධ්‍යක්ෂවරියක වන අනීකා විජේසූරිය නමැත්තියට මරණ තර්ජන එල්ල වී ඇතැයි කොමිසමේදී අද අනාවරණ වුණා.

නීතිපති දෙපාර්තමේන්තුව එහිදී කියාසිටියේ මරණ තර්ජන හේතුවෙන් සාක්ෂිකාරිය රටින් පිටව ගොස් ඇති බවයි. හිටපු අමාත්‍ය රවී කරුණානායකගේ සමීපතමයෙකු විසින් මෙලෙස මරණ තර්ජන සිදුකර ඇති බවද සඳහන්. 

පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝෂියස් රුපියල් ලක්ෂ 116ක් ගෙවා මහල් නිවසක් කුලී පදනම මත ලබාගෙන එය හිටපු අමාත්‍ය රවි කරුණානායකට පදිංචිය සඳහා ලබාදුන් බවටයි ඇය මීට පෙර ප‍්‍රකාශ කර තිබුණේ.

මෙම සිද්ධිය මුල්කර ගනිමින් අමාත්‍ය ධුරයෙන් ඉවත්වීමටද පාර්ලිමේන්තු මන්තී‍්‍ර රවී කරුණානායකට සිදුවුණා.

මේ අතර පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝෂියස්ගේ පෞද්ගලික ලේකම් ස්ටීව් සැමුවෙල් බැඳුම්කර කොමිසම හමුවේ අද පළමුවරට පෙනී සිටියා.