Friday, April 26, 2024

General line - 0115112241

මැතිවරණ කොමිසම ඉල්ලන ගැසට් පත‍්‍රය මුද්‍රණාලයට ඇවිත් නෑ

මේනකා රත්නායක




දිනෙන් දින කල් යමින් ඇති පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ සභික ධුර සංඛ්‍යාව ඇතුළත් තීරණාත්මක ගැසට් නිවේදනය මෙතෙක් ප‍්‍රකාශයට පත් කර නැහැ.

නෙත් නිවුස් කළ විමසීමකදී රජයේ මුද්‍රණාලයාධිපති ගංගානි ලියනගේ පැවසුවේ ඊට අදාළ කිසිඳු ලියවිල්ලක් මේ මොහොත දක්වා තමන්ට ලැබී නොමැති බවයි.

සීමා නීර්ණ වාර්තාවට අදාළ ගැසට් නිවේදනයෙන් පසුව මැතිවරණය පැවැත්වීමට අදාළ කිසිඳු ලේඛණයක් ගැසට් මගින් ප‍්‍රකාශ නොකළ බවද ඇය කියාසිටියා.

මැතිවරණ කොමිසම අපේක්‍ෂාවෙන් පසුවුයේ එම ගැසට් නිවේදනය ඊයේ (17) දිනයේ ප‍්‍රකාශයට පත්කරනු ඇති බවයි. එසේ වූවානම් ඉදිරියේදී ගන්නා කි‍්‍රයාමාර්ග පිළිබඳ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය මාධ්‍ය හමුවේ පැහැදිලි කළා. 

"ගැසට් නිවේදනය අඟහරුවාදා නිකුත් කලා නම් අපිට පුළුවන් 19 වැනිදා තියෙන් අපේ කොමිෂන් සභා රැස්වීමේදී තීරණයක් ගන්න..කවදාද අපි නාම යෝජනා දැන්වීම නිකුත් කරන්නේ කියලා."

මෙම ගැසට් නිවේදනය ප‍්‍රකාශයට පත් කිරීම ප‍්‍රමාද වන්නේ මන්දැයි නෙත් නිවුස් විෂය භාර අමාත්‍ය ෆයිසර් මුස්තාෆාගෙන් විමසීමක් කළා. ඔහු කියාසිටියේ අමාත්‍ය මනෝ ගනේෂන් විසින් සභික ධුර සංඛ්‍යාව පිළිබඳ කැබිනට් මණ්ඩලයේදී කරන ලද ඉල්ලීමක් ඊට හේතුවී ඇති බවයි.

එම ඉල්ලීම සම්බන්ධයෙන් ඉදිරියේදී සලකා බලා ගැසට් පත‍්‍රය නිකුත් කිරීමට අදාළ පියවර ගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කළා. 

ඒ අනුව අමාත්‍ය මනෝ ගනේෂන්ගෙන් සභික ධුර සංඛ්‍යාව පිළිබඳ මතුව ඇති ගැටලූව සම්බන්ධයෙන් නෙත් නිවුස් විමසා සිටියා. ගැටලූව මතුව ඇත්තේ නුවරඑළිය දිස්ති‍්‍රක්කයේ බවයි ඔහු එහිදී පැවසුවේ.

"නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභා 05ක් තියෙනවා. ඒකෙන් නුවරඑළිය සහ අඹගමුවේ දෙමළ බස කතාකරන ජනතාව බහුතරයක් ඉන්නවා. ජනගහනය වැඩියි.. භූමි ප්‍රදේශය වැඩියි..ඉතින් අපි කිව්වේ මේකේ ප්‍රාදේශීය සභා වැඩි කරන්න ඕනේ කියලා."

මීට අදාළ සාකච්ඡාවක් ඊයේ පවත්වා ඇති අතර අවසන් සාකච්ඡාව ලබන අඟහරුවාදා පැවැත්වෙන බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

මේ අතර පළාත් සභා සඳහා පරිපාලන දිස්ති‍්‍රක්ක යටතේ තෝරා ගැනීමට නියමිත මන්තී‍්‍රවරුන් සංඛ්‍යාව වෙනුවෙන් මැතිවරණ කොට්ඨාස පිහිටුවීමට අදාළ යෝජනා ලබාගැනීමේ කටයුතුද ආරම්භ කර තිබෙනවා. ඒ, සීමානීර්ණය කොමිෂන් සභාව විසින්.

යෝජනා සහ අදහස් ඉදිරිපත් කිරීම නොවැම්බර් මස 2 වැනිදා දක්වා සිදුකළ හැකියි.  ඒ පිළිබද වැඩිදුරු තොරතුරු 011 2 36 94 52 යන අංකයෙන් ලබාගත හැකියි.