Friday, April 26, 2024

General line - 0115112241

ඉවත්ව යන හතුරුසිංහ බංග්ලාදේශයට මුදල් ගෙවිය යුතුයි..ඒ මුදල දෙන්න ලංකාව සුදානම්

කසුන් කැලුම් 




චන්දික හතුරුසිංහ ශී‍්‍ර ලංකා ජාතික කි‍්‍රකට් කණ්ඩායමේ මීළඟ ප‍්‍රධාන පුහුණුකරුවා වනු ඇතැයි වාර්තා පළ වනවා. 

ඔහු බංග්ලාදේශ කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ධුරයෙන් ඉල්ලා අස්වීමට අදාළ ලිපිය එරට කි‍්‍රකට් පාලක මණ්ඩලයට භාර දී ඇති බවයි ඊයේ (09) විදෙස් මාධ්‍ය වාර්තා පළ වුණේ. 

චන්දික හතුරුසිංහ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ධුරයට එක්කර ගැනීම සඳහා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය ඔහු සමග සාකච්ඡා  පැවැත්වූ බවටද මීට පෙර වාර්තා පළ වුණා. 

ඔහු බංග්ලාදේශ කි‍්‍රකට් පාලක මණ්ඩලයට සිය අස්වීමේ ලිපිය යොමුකර ඇත්තේ ශී‍්‍ර ලංකා කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ධුරය භාර ගැනීමේ අපේක්ෂාවෙන් බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ. 

බංග්ලාදේශ කී‍්‍රකට් පාලක මණ්ඩලයේ නිලධාරීන් ඔහු සමග මත ගැටුමක් ඇතිකර ගත් බවටද මීට පෙර මාධ්‍ය වාර්තා පළ වුණා. 

ඉන්දීය සංචාරයෙන් පසු චන්දික හතුරුසිංහ ශී‍්‍ර ලංකා කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ධුරය භාර ගැනීමට නියමිත බවයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ප‍්‍රකාශකයෙකු නෙත් ස්පෝර්ට්ස්මන් වෙත කියා සිටියේ. 

ටේ‍්‍රවර් බේලිස් ශී‍්‍ර ලංකා කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ධුරයේ දරන සමයේ සහාය පුහුණුකරු ලෙස කටයුතු කළේ චන්දික හතුරුසිංහයි. 

එවක පරිපාලනය සමග ඇති කරගත් මත ගැටුමක් හේතුවෙන් කුමාර් සංගක්කාර නායකත්වය දරන සමයේ හතුරුසිංහ එම ධුරයෙන් ඉවත්ව ගියා.

චන්දික හතුරුසිංහ බංග්ලාදේශ කි‍්‍රකට් පාලක මණ්ඩලය සමග 2019 ලෝක කුසලානය තෙක් ගිවිසුමකට එළැඹ තිබුණා. 

ඔහු එම ගිවිසුම් කාලය අවසන් වීමට පෙර ඉන් ඉවත් වන්නේ නම් එ් සඳහා ඔහු විසින් බංග්ලාදේශ කි‍්‍රකට් පාලක මණ්ඩලයට මුදලක් ගෙවිය යුතු වනවා. 

එම මුදල ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය විසින් ගෙවීමට පොරොන්දු වී ඇති බවටයි වාර්තා පළ වන්නේ. 

බංග්ලාදේශ කි‍්‍රකට් පාලක මණ්ඩලයේ 2014 දී බංග්ලාදේශ ජාතික කි‍්‍රකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ධුරයට පත් වූ චන්දික හතුරුසිංහ එරට කි‍්‍රකට් පිබිදීමක් ඇති කළ දක්ෂ පුහුණුකරුවෙක් වනවා. 

2015 ලෝක කුසලාන තරගාවලියේදී බංග්ලාදේශ පිල අවසන් පූර්ව වටය දක්වා පිවිසියේද ඔහුගේ පුහුණුවීම් යටතේයි. 

2015 වසරේදී චන්දික හතුරුසිංහගේ පුහුණුවීම් යටතේ බංග්ලාදේශ පිල සිය මවු රටේදී පාකිස්තානය, ඉන්දියාව සහ දකුණු අපි‍්‍රකාවද පරාජයට පත් කළා. 

2016 වසරේදී ආසියානු අනුශූරයින් බංග්ලාදේශ පිල 2017 වසරේ එංගලන්තයේ පැවති ශූරයින්ගේ කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයටද පිවිසෙන්නේ චන්දික හතුරුසිංහගේ පුහුණුවිම් යටතේයි. 

මෙම වසරේදී ඔහුගේ පුහුණුවිම් යටතේ ශී‍්‍ර ලංකාවට එරෙහිව පළමු ටෙස්ට් කි‍්‍රකට් තරග ජය වාර්තා කිරීමටද බංග්ලාදේශ පිල සමත් වුණා.