Friday, April 26, 2024

General line - 0115112241

අධ්‍යාපන රාජ්‍ය ඇමති පුතාගෙන් ගුටිකෑ  'අධ්‍යාපන සේවකයා'  තලංගම පොලිසියට - අමාත්‍යංශයේ නිවේදනය මෙන්න (UPDATE)

සුගත් ධර්මප්‍රිය 




අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයාගේ පුත්‍රයා  විසින් අධ්‍යාපන අමාත්‍යවරයාගේ කාර්ය මණ්ඩලයේ සේවකයෙකුට පහරදුන් බවට වන පුවත සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකය කරුණු පැහැදිලි කිරීමක් කර තිබෙනවා. 

nethnews.lk මගින් ඊයේ (13) හෙළිදරව් කළේ  අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය රාධක්‍රිෂ්ණන්ගේ පුත්‍රයා අමාත්‍යංශයේ නිලධාරියෙකුට පහරදීමක් සිදු කර ඇති බව බවයි.

අමාත්‍යංශය තුළ සම්මුඛ පරීක්ෂණයක් පැවැත්වෙන අවස්ථාවේ රාජ්‍ය අමාත්‍යවරයාගේ පුත්‍රයා එය වීඩියෝ කරමින් සිටියදී නිලධාරියෙකු ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී තමන් අමාත්‍යවරයාගේ පුත්‍රයා බව පවසමින් නිලධාරියාට පහරදී ඇති බවයි එම වාර්තා මගින් අප හෙළිදරව් කළේ.

අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය රාධක්‍රිෂ්ණන්ගේ පුද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කරන්නේ ද පුත්‍රයා බව nethnews.lk එහිදී වාර්තා කර තිබුණා.

මේ අතර තවත් මාධ්‍ය ආයතනයක් විසින් අධ්‍යාපන අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු සහ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයාගේ පුද්ගලික ලේකම්වරයා අතර ගැටුමක් ඇති වූ බව වාර්තා කර තිබුණු බවත් ඇතැම් මාධ්‍ය මෙය අධ්‍යාපන අමාත්‍යවරයාගේ මහජන සම්බන්ධතා නිලධාරියා සහ රාජ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම්වරයා අතර වූ ගැටුමක් ලෙස ද වාර්තා කොට තිබුණු බවත් අධ්‍යාපන අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් කල්ප ගුණරත්න නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.

මෙම සියලු කරුණු පදනම් විරහිත බව වගකීමෙන් යුක්ත ව ප්‍රකාශ කරන අතර ඉහත පුවත් වාර්තාවන්හි දක්වා ඇති පරිදි අධ්‍යාපන අමාත්‍යවරයාගේ පුද්ගලික කාර්ය මණ්ඩලයේ කිසිදු නිලධාරියෙකු හෝ සේවකයෙකු මෙවැනි ගැටුමකට මැදිහත් වී නොමැති බව එමගින් අවධාරණය කර ඇත්තේ.
 
කෙසේ වෙතත් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී රාධක්‍රිෂ්ණන්ගේ පෞද්ගලික ලේකම්වරයා සහ අමාත්‍යාංශයේ සේවකයෙකු අතර ගැටුමක් ඇතිවූ බවටත්, එහි දී පහර කෑ රජයේ සේවකයා විසින් තලංගම පොලිසියට පැමිණිල්ලක් කර ඇති බවටත් කරුණු වාර්තා වීම සමඟ මේ පිළිබඳ කරුණු සොයා බලා තමා දැනුවත් කරන ලෙස  අධ්‍යාපන අමාත්‍යවරයා විසින් ඊයේ (14)දිනයේ ම අධ්‍යාපන අමාත්‍යාංශයේ මුදල් සහ පාලන අතිරේක ලේකම්වරයාට සහ අධ්‍යාපන ලේකම්වරයාට දැනුම් දී තිබෙන බවද එම නිවේදනයේ සඳහන්.


 ................................................................

අධ්‍යාපන රාජ්‍ය ඇමතිගේ පුතා "ඉසුරුපායේ" යකා නටලා - නිලධාරියෙක් පහර කයි (EXCLUSIVE )

13-11-2017 16:57

අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය රාධක්‍රිෂ්ණන්ගේ පුත්‍රයා අමාත්‍යංශයේ නිලධාරියෙකුට අද (13) පහරදීමක් සිදු කර ඇති බව nethnews.lk වෙත වාර්තා වනවා.

අමාත්‍යංශය තුළ සම්මුඛ පරීක්ෂණයක් පැවැත්වෙන අවස්ථාවේ රාජ්‍ය අමාත්‍යවරයාගේ පුත්‍රයා එය වීඩියෝ කරමින් සිටියදී නිලධාරියෙකු ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී තමන් අමාත්‍යවරයාගේ පුත්‍රයා බව පවසමින් නිලධාරියාට පහරදී ඇති බවයි එම වාර්තා මගින් පැවසුණේ.

අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය රාධක්‍රිෂ්ණන්ගේ පුද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කරන්නේ ද පුත්‍රයායි.

මේ අතර nethnews.lk කළ කරුණු විමසීමකදී අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය රාධක්‍රිෂ්ණන් සඳහන් කළේ තම පුත්‍රයාගේ කොලරයෙන් අල්ලා නිලධාරියා විසින් පළමුව පහරදී ඇති බවයි.