Friday, April 26, 2024

General line - 0115112241

අවුකන පිළිම වහන්සේට සමීපව අකුණු සන්නායකයක්




අවුකන බුදු පිළිම වහන්සේ අකුණු අවදානමකට ලක්ව ඇතැයි විහාරාධිපති පූජ්‍ය ශාස්ත්‍රවෙල්ලියේ ධම්මකිත්ති හිමියන් උපුටා දක්වමින් නෙත් නිවුස් කළ අනාවරණයට අධ්‍යාපන අමාත්‍යාංශය අද (14) ප්‍රතිචාර දැක්වුවා. 

නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් පූජ්‍ය ශාස්ත්‍රවෙල්ලියේ ධම්මකිත්ති හිමියන් කියාසිටියේ මෙම පිළිම වහන්සේ අකුණු අනතුරුවලින් ආරක්ෂා කරගැනීම සඳහා අකුණු සන්නායකයක් සවි කිරීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජි කාරියවසම් පොරොන්දු වූ බවයි. 

එහෙත් තවමත් ඒ සඳහා කටයුතු කර නොමැති බව ද ඒ නිසා කොයිමොහොතේ හෝ අවුකන බුදු පිළිම වහන්සේ අකුණු අනතුරකට ලක්විය හැකි බව ද උන්වහන්සේ කියා සිටියා.

මීට ප්‍රතිචාර දක්වමින් අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ අවුකන බුදු පිළිම වහන්සේට අකුණු අවදානමක් ඇතැයි පැවසෙන්නේ ඊට ආරක්ෂාව සපයමින් ඉදිකර ඇති ආවරණ වහළය නිසා බවයි. 

2013, 2015 වකවානුවේදී මෙම ආවරණ වහළය ඉදිකර ඇතැයි ද එවැනි වහළ මාලිගාවිල බුදුපිළිම වහන්සේ සහ තිවංක පිළිමගෙයි ආරක්ෂාව සඳහා ද ඉදිකර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවා. 

මේ කිසිවකට අකුණු අනතුරක් සිදුවූ බවක් මේ දක්වා වාර්තා වී නොමැති බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් දැනුම් දී තිඛෙන බවයි මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණේ. 

අකුණු භූගත කිරීම සඳහා හැකිවන පරිදි ඉදිකිරීම සිදුකර ඇතැයි ද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී ඇතැයි මෙහිදී ප්‍රකාශ කෙරුණා.


කෙසේවෙතත් අකුණු අනතුරකදී පිළිමවහන්සේ ආසන්නයේ සිටින තැනැත්තන්ට කිසියම් බලපෑමක් ඇතිවිය හැකි බව හඳුනාගෙන ඇතැයි ද අධ්‍යාපන අමාත්‍යාංශය කළ කරුණු දැක්වීමේ සඳහන්. 

ඒ අනුව කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය මහේන්ද්‍ර ප්‍රනාන්දුගේ උපදෙස් යටතේ පිළිම වහන්සේට සමීපව අකුණු සන්නායකයක් පිහිටුවීමට පියවර ගන්නා බව ද අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවා. 

ඒ සඳහා වූ කටයුතු දැනටමත් ආරම්භ කර තිබෙන බවයි පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ජී.බී. මණ්ඩාවල උපුටා දක්වමින් අධ්‍යාපන අමාත්‍යාංශය කියාසිටියේ.