Friday, April 26, 2024

General line - 0115112241

මැණික් පතල් ගැන ජනපතිගෙන් අලුත් තීරණ




ගංවතුර තත්ත්වයන් වළක්වා ගැනීමට පරිසර සංරක්ෂණය ගැන වැඩි අවධානයක් යොමු කළ යුතුව ඇතැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ මැණික් ව්‍යාපාරිකයින්ගේ සහ මැණික් පතල්කරුවන්ගේ ගැටළු පිළිබඳ ඊයේ (13) පැවති සාකච්ඡාවකදීයි. කළුතර ගංවතුර තත්ත්ව ඇති වීමට රත්නපුර දිස්ත‍්‍රික්කයේ අවිධිමත් මැණික් පතල් කැණීම් හේතු වී ඇති බවයි ජනාධිපතිවරයා එහිදී ප‍්‍රකාශ කළේ. 

මැණික් ව්‍යාපාරිකයින් සහ මැණික් පතල්කරුවන් සිය කර්මාන්තය පවත්වාගෙන යාමේදී මුහුණදෙන ගැටළු පිළිබඳව ද මෙහිදී ජනාධිපතිවරයා දැනුවත් කළා.

ඔවුන් එහිදී සඳහන් කළේ නීත්‍යානුකූල බලපත‍්‍ර සහිත මැණික් පතල් කැණීමේදී ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නොවන පිරිස් පතල් පරිශ‍්‍රවලට කඩාවැදී ඒවා පරීක්ෂා කිරීම සහ අත්අඩංගුවට ගැනීම් ද සිදු කරන බවයි.

මේ පිළිබඳ අවධානය යොමු කළ ජනාධිපතිවරයා මැණික් පතල් වැටලීමේ දී මැණික් සංස්ථාවේ නිලධාරීන් සමග පමණක් අදාළ වැටලීම් සිදු කරන ලෙස උපදෙස් ලබා දී තිබෙනවා. 

උදෑසන 06.00 සිට පස්වරු 6.00 දක්වා පමණක් පතල් කැණීම් සිදු කරන ලෙස දැන්වීම නිසා සිය කර්මාන්තය පවත්වාගෙන යාමට දුෂ්කරතා මතුව ඇති බවයි පතල් කර්මාන්තකරුවන් මෙහිදී පෙන්වා දී ඇත්තේ. පතල්වල දෝනා කඩාවැටීම නැවැත්වීම සඳහා දිවා රාත‍්‍රී නඩත්තු කටයුතු සිදු කළ යුතු බව පෙන්වාදීමෙන් අනතුරුව මේ පිළිබඳව පනවා ඇති නීතිය ඉවත් කිරීමට ජනාධිපතිවරයා අදාළ අංශ වෙත උපදෙස් දී තිබෙනවා. 

බැකෝ යන්ත‍්‍ර යොදා ගනිමින් මැණික් පතල් කැණීම සීමා කිරීමටත්, මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය තීරණය කරන ස්ථානවලට පමණක් මෙම යන්ත‍්‍ර යෙදවීමට අවසර ලබාදෙන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබාදුන් බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය පැවසුවේ. 

මැණික් අපනයනකරුවන් වෙත මෙවර අයවැයෙන් පනවා ඇති සියයට 14ක නව බදු මුදල පිළිබඳ කළ ඉල්ලීම් කෙරෙහි ද ජනාධිපතිවරයා මෙහිදී අවධානය යොමු කළා. ඒ පිළිබඳවද ඉදිරි කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණයක් ගන්නා බවයි ජනාධිපතිවරයා මෙම සාකච්ඡාවේදී සඳහන් කර ඇත්තේ.