Saturday, April 27, 2024

General line - 0115112241

එක්දින නායකත්වයට බහුතර කැමැත්ත මෙන්න

කසුන් කැලුම්




ශී‍්‍ර ලංකා එක්දින කණ්ඩායමේ නායක්තවය ඇන්ජලෝ මැතිව්ස්ට හිමිවනු ඇතැයි වාර්තා වනවා. දිනේෂ් චන්දිමාල්ගේ නමද ඊට යෝජනා වුවද, පුහුණුකරු චන්දික හතුරුසිංහ සහ තේරීම් කමිටුවේ බහුතර කැමැත්ත මැතිව්ස්ට හිමිව ඇති බවයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ උසස් නිලධාරියෙකු නෙත් ස්පෝර්ට්ස්මන් වෙත කියා සිටියේ. නව එක්දින නායකයා ලබන 9 වැනිදා නිල වශයෙන් ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා. 

ලබන වසරේ පැවැත්වෙන ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලිය සඳහා දැන් සිටම ස්ථිර නායකයෙකු යටතේ ශී‍්‍ර ලංකා කණ්ඩායම තරග වැදීමටයි යෝජනා වී ඇත්තේ. ඉකුත් වසරේදී පමණක් කි‍්‍රඩකයින් පස් දෙනෙකු ශී‍්‍ර ලංකා එක්දින නායකත්වයට පත් කර තිබෙනවා. ඇන්ජලෝ මැතිව්ස් ඉකුත් ජුනි මාසයේදී නායකත්වයෙන් ඉල්ලා අස් වූ අතර ඔහු එ් දක්වා එක්දින තරග 98කදී ශී‍්‍ර ලංකා කණ්ඩායමට නායකත්වය ලබාදුන්නා. ඔහු යටතේ ශී‍්‍ර ලංකාව එක්දින තරග 47ක් ජය ගත් අතර තරග 45ක් පරාජයට පත් වුණා. 

මේ අතර බංග්ලාදේශයේ පැවැත්වෙන තුන්කොන් එක්දින කි‍්‍රකට් තරගාවලියට එක්වන ශී‍්‍ර ලංකා සංචිතයද ඉදිරි දින කිහිපයේදී නම් කිරීමට නියමිතව තිබෙනවා.