Saturday, April 27, 2024

General line - 0115112241

බස් රථයේ පිපිරීම ගැන අගමැති පාර්ලිමේන්තුවේදී කතාකරයි - (UPDATE) (PHOTOS)

සමන් පාලිත/ජයන්ත වීරසේකර/පාලිත ආරියවංශ/සුපෙම් මානගේ




යාපනයේ සිට දියතලාව දක්වා පැමිණ එහි සිට බණ්ඩාරවෙළ දක්වා ධාවනය වෙමින් තිබූ මගී ප්‍රවාහන බස් රථයක් තුල හදිසීයේම ඇති වූ පිපිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද (21) පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූවා. එහිදී  ඔහු කියා සිටියේ මෙය සාමාන්‍ය සිදුවීමක්  බවයි.

මේ සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇති අතර  මෙම පිපිරීම ත්‍රස්තවාදි ක්‍රියාවක් නොවන බව යුද හමුදාව තහවුරු කර තිබෙනවා.

-----------------------------------------

රියදුරු අසුනට පිටුපස දෙවැනි අසුනේ වෙනසක් පොලිසිය නිරීක්ෂණය කරයි (UPDATE) (PHOTOS)

(21-02-2018 09:25)

 

බණ්ඩාරවෙල - දියතලාව මාර්ගයේ කහගොල්ල ප්‍රදේශයේදී අද (21) අලුයම 5.15 ට පමණ  පුද්ගලික බස් රථයක ඇති වූ පිපිරීම අත්බෝම්බයක් බවට සැක පළ කෙරෙනවා.

මෙම පිපිරීමත් සමග ඇතිවූ ගින්නෙන් තුවාල ලැබු 16 දෙනෙක් දියතලාව මූලික රෝහලට ඇතුලත් කෙරුණා.

යාපනයේ සිට අලුයම බණ්ඩාරවෙලට පැමිණ ඇති පුද්ගලික මගී ප්‍රවාහන බස්රථය එහි පැමිණි මගීන් පිරිසක් බණ්ඩාරවෙලදී  දියතලාව කරා ධාවනය වන ඔවුන්ගේම වෙනත් බස් රථයකට මාරු කර ඇති අතර මෙසේ ගිනි ගැනීම සිදුව ඇත්තේ එම බස් රථයේ බවයි පොලිසිය සඳහන් කළේ.

සිද්ධිය වු සැනින් ගිනි නිවන හමුදාව හා පොලිසිය පැමිණ බස් රථයේ ගින්න නිවා දැමීමට කටයුතු කළද ඒ වන විටත් බස් රථයට දැඩි හානි සිදු තිබුණා.

මෙම බස් රථයේ යාපනයේ සිට පැමිණි මගින් අතර යුධ හමුදා සහ නාවික හමුදා සෙබලුන් ද සිට ඇති බවත් ඔවුන්ගෙන් කෙනෙක් ළඟ තිබු අත් බෝම්බයක් මෙසේ පිපිරී යන්නට ඇති බවටයි මේ වන විට සැක කරන්නේ.

රියදුරු අසුනට පිටුපසින් දෙවන අසුනේ මෙම පිපිරීම  සිදුවන්නට ඇතැයි ද විශ්වාස කෙරෙනවා.

එම ස්ථානයේ බසයේ තහඩුව සිදුරු වී ඇති බවද පොලිසිය පෙන්වා දෙන බවයි අප වාර්තාකරු සඳහන් කරන්නේ.  


 

---------------------------------------------

තුවාල සිදු වී ඇත්තේ මගීන්ගේ කකුල්වලටයි - බස් රථය ඇතුලේ පිපිරීමක් වුණාලු (PHOTOS) (UPDATE)

(21-02-2018 09:00)

 

යාපනයේ සිට දියතලාව දක්වා පැමිණ එහි සිට බණ්ඩාරවෙළ දක්වා ධාවනය වෙමින් තිබූ මගී ප්‍රවාහන බස් රථයක් හදිසියේම ගින්නට හේතුව බස් රථය තුළ සිදු වූ පිපිරීමක් බවට මේ වන විටත් සැක මතුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කරන්නේ.

මෙම සිද්ධියෙන් බස් රථයේ ගමන් කළ මගීන්ගේ කකුල්වලට හානි සිදුව ඇති බවත් සඳහන් කළා.

තුවාල ලැබූ පිරිමි පුද්ගලයින් 15 දෙනෙකු සහ එක් කාන්තාවක් රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා.

අදාළ ස්ථානයට මේ වන විට පොලිසිය සහ යුද හමුදාව පැමිණ ඇති බවද අප වාර්තාකරු වැඩි දුරටත් සඳහන් කළා.

--------------------------------

බස් රථයක් ගිනි ගනී - 15ක් රෝහලේ

(21-02-2018 07:03)

 

යාපනයේ සිට දියතලාව දක්වා පැමිණ එහි සිට බණ්ඩාරවෙළ දක්වා ධාවනය වෙමින් තිබූ මගී ප්‍රවාහන බස් රථයක් හදිසියේම ගිනි ගෙන තිබෙනවා.

අද (21) අලුමය මෙම බස් රථය හදිසියේ ගිනි ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.

ගින්න හේතුවෙන් බස් රථයේ සිටි පුද්ගලයින් 15 දෙනෙකු තුවාල ලබා ඇති බවද වාර්තා වෙනවා. තුවාල ලැබූ පිරිස දියතලාව රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය නොවූ බවයි පොලිසිය සඳහන් කළේ. කෙසේවෙතත් අප වාර්තාකරු සඳහන් කළේ බස් රථයේ සිදුවූ පිපිරීමකින් මෙම ගින්න හටගෙන ඇති බවයි.