Friday, April 26, 2024

General line - 0115112241

"එමා" යුරෝපය අඩපණ කරයි




දැඩි ශිත කාලගුණය හේතුවෙන් යුරෝපා රටවල් රැසක ජන ජීවිතය තවදුරටත් අඩාල වී තිබෙනවා. ඒ හමුවේ සිදුව ඇති පුද්ගල මරණ සංඛ්‍යාවද ඉහළ ගොස් ඇති බවයි විදෙස් වාර්තා පැවසුවේ.

අධික සීතල හේතුවෙන් පෝලන්තයෙන් පමණක් වාර්තා වන මරණ සංඛ්‍යාව 23ක්. ඊට අමතරව එංගලන්තය, අයර්ලන්තය, වේල්සය, බෙල්ජියම, ප‍්‍රංශය, නෙදර්ලන්තය, ස්පාඤ්ඤය, ඉතාලිය, ස්විට්සර්ලන්තය, නෝර්වේ රාජ්‍යය සහ යුක්රේනය යන රටවල ප‍්‍රදේශ බොහොමයක් හිමෙන් වැසී ඇති බවයි වාර්තාවන්නේ.

මධ්‍යධරණී සාගර කලාපය හරහා හමා යන ‘‘එමා’’ සුළිකුණාටුව හමුවේ සමස්ථ යුරෝපයම පාහේ මෙම දැඩි ශීත කාලගුණයට මුහුණ පා තිබෙනවා. යුරෝපයේ ප‍්‍රධාන නගර වන ලන්ඩනය, බ‍්‍රස්ල්ස්, පැරිස් ඇතුළු නගර රැසක සිදු කරන සියළු ජාත්‍යන්තර මෙහෙයුම් කටයුතු සඳහාද අයහපත් කාලගුණයෙන් බලපෑම් එල්ල වී ඇතැයි සඳහන්.

ඇතැම් නගරවල උෂ්ණත්වය වාර්තාවන්නේ සෙල්සියස් අංශක ඍණ 15ක් ලෙසයි. ශීත කාලගුණයෙන් බලපෑම් එල්ල වී ඇති යුරෝපයේ නගර රැසක ගුවන් ගමන් සේවා, දුම්රිය සේවා මෙන්ම විදුලි බල සැපයුමද අඩාළ වී තිබෙනවා. පාසල් ඇතුළු පොදු ස්ථාන රැසක්ද තාවකාලිකව වසා දමා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. යුරෝපයට බලපා ඇති මෙම අධික ශීත කාලගුණය ඉදිරි දින කිහිපයේදීත් පවතිනු ඇති බවටයි කාලගුණ බලධාරීන් අනතුරු ඇඟවීම් සිදු කර ඇත්තේ.