Saturday, April 27, 2024

General line - 0115112241

වයිබර් තහනම ඉවත් කළත් 'ෆේස්බුක් සහ වට්ස්ඇප්' තහනම ඉවත් නොකළ හේතුව මෙන්න

තරංග රුක්ෂාන් ජයසේකර




තාවකාලික තහනම ඉවත් කිරිමෙන් පසු මේ වන විට වයිබර් සමාජ ජාලය වෙත ප‍්‍රවේශවීමට මහජනතාවට අවස්ථාව උදා වී තිබෙනවා.

ප‍්‍රවේශවීමේ සිමා ඉවත් කිරිමට රජය තීරණය කළේ ඊයේ (13) මධ්‍යම රාති‍්‍රයේ සිටයි. ඒ, විදෙස් ගත ශ‍්‍රමිකයින් හට මෙරට සිටින ඥාතීන් සමග සන්නිිවේදනය කිරිමේදී මුහුණ පා ඇති අපහසුතා පිළිබඳ සලකා බැලීමෙන් අනතුරුවයි.

එමෙන්ම ව්‍යාපාරික ප‍්‍රජාව, ශී‍්‍ර ලංකාවට පැමණෙන සංචාරකයින් හා කුඩා පරිමාණ ව්‍යවසායකයින්ට සිදුව ඇති අපහසුතාද තහනම ඉවත් කිරිමේදී රජය සැලකිල්ලට ගැනුනු තවත් කරුණක්. 

වයිබර් මෙන්ම වට්ස්ඇප් තහනමද ඉවත් කිරීමට නොහැකිදැයි මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්ණයකට විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මෙලෙස ප‍්‍රතිචාර දැක්වුවා.

"වට්ස්ඇප් නවත්වන්න වුණේ ෆේස්බුක් නැවැත්තුවත් එක්කම ඒ වීඩියෝ වගේ දේවල් වට්ස්ඇප් ගෲප්වලින් සංසරණය වෙන්න ගත්තා. කොහොම වුණත් ඒ දෙකම ඉක්මණින් යතාතත්ත්වයට පත් වෙයි."

ෆේස්බුක් තහනම අනිද්දා (16) වනවිට ඉවත් කරනු ඇති බවයි ආණ්ඩුව දැනටමත් ප‍්‍රකාශ කර ඇත්තේ. කෙසේ වෙතත් රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ රට තුළ නැවත කලහකාරී තත්ත්වයක් ඇති නොවීම පිණිස අවශ්‍ය ප‍්‍රතිපාදන කි‍්‍රයාවට නැංවීම සඳහා සමාජ ජාල ආයතන හා වෙනත් පාර්ශ්වකාර ආයතන සමග තවදුරටත් සාකච්ඡා කරන බවයි. 

නිසි ආරක්ෂණ හා ආවේක්ෂණ විධිවිධාන පිළිබඳ සලකා බලමින් තහනම් කර ඇති සමාජ ජාල සේවාවන් වෙත ප‍්‍රවේශයද යථා කාලයේදී විවෘත කළ හැකි වනු ඇති බවයි ප‍්‍රකාශ කෙරුණේ.

සමාජ මාධ්‍ය වාරණය පැනවීමෙන් පසු කලහකාරී හැගීම් සහ ප‍්‍රචණ්ඩත්වය වේගයෙන් පැතිරයාම සමනය වී තිබෙනවා. රටෙහි ආරක්ෂක තත්ත්වය නැවත යහපත් වෙමින් තිබෙන බවද රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණා.

මේ අතර ශී‍්‍ර ලාංකිකයින් වී. පී. එන්. තාක්ෂණය භාවිත කරමින් විදෙස් රටවල පිවිසුම් මගින් ෆේස්බුක් පරීශීලනය කරමින් ඇතැයි ඇලෙක්සා වෙබ් අඩවි ශ්‍රේණීගත ආයතනයේ නිල වෙබ් පිටුවේ සඳහන්. වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ කාරක සභික කණිෂ්ක රාජකරුණා පවසන්නේ එය නීතිවිරෝධී නොවන බවයි.

සමාජ ජාල පරිශිලකයින්ගේ එකමුතුවේ සාමාජික ඕෂල හේරත් පවසන්නේ ෆේස්බුක් තහනම් නොකර ආණ්ඩුවට වෛරී ප‍්‍රකාශ වැළැක්වීමට බොහෝ දේ කිරිමට හැකිව තිබූ බවයි. ඒ සඳහා ෆේස්බුක් වෙබ් අඩවියේද පහසුකම් සලසා ඇති බවයි ප‍්‍රකාශ කෙරුණේ.

ෆේස්බුක්, වයිබර්, වට්ස්ඇප් ඇතුළු සමාජජාලා වෙබ් අඩවිවලට පිවිසිම අත්හිටුවීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව තීරණය කළේ ඉකුත් 07 වැනිදා සිටයි. ඒ, මහනුවර ප‍්‍රදේශයේ පැවැති තත්ත්වය සැළකිල්ලට ගනිමින්.