Saturday, April 27, 2024

General line - 0115112241

පුටින් ජය ගනු ඇති බවට අපේක්ෂාවක්.. මැතිවරණය අතරවාරයේ කොමිසමට සයිබර් ප්‍රහාරයක්




අද (18) පැවැත්වෙන රුසියානු ජනාධිපතිවරණයෙන්, වත්මන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ජය ගනු ඇතැයි පූර්ව සමීක්ෂණ වාර්තා පවසනවා.

රුසියානුවන්ගෙන්  සියයට 70ක්ම පවසා ඇත්තේ පුටින් යළි ජනපති වනු ඇති බවයි.

මෙවර ඡන්ද විමසීමේදී ඡන්දය භාවිත කිරීම සඳහා රුසියානුවන් මිලියන 107ක් සුදුසුකම් ලබා තිබුණා. ස්ථාපිත කර තිබූ ඡන්ද මධ්‍යස්ථාන සංඛ්‍යාව 97,000ක්.

ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට අමතරව මෙවර ජනාධිපතිරවණය සඳහා අපේක්ෂකයින් 7 දෙනෙකු සහ එක් අපේක්ෂිකාවක් ඉදිරිපත්ව සිටියා. යුක්රේනයෙන් ඈඳාගත් ක්‍රයිමියාව තුළද අද (18) පළමුවරට රුසියානු ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම පැවැත්වීම විශේෂත්වයක්.

එහෙත් යුක්රේන බලධාරින් ක්‍රයිමියා වැසියන් හට ඡන්දය භාවිත කිරීමට අවසර ලබා නොදුන් බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

කෙසේ වෙතත් පූර්ව අනාවැකි සඵල කරමින් ව්ලැදිමීර් පුටින් ඉදිරි වසර 6 සඳහා සිව්වන වරටත් රුසියාවේ ජනාධිපතිවරයා වුවහොත් ඔහුගේ ධූර කාලය වසර 20කට ආසන්න වනු ඇති.

ඒ අනුව ඔහු ලෝක ඉතිහාසයට එක්වන්නේ ඒකාධිපති පාලකයෙකු ලෙස ප්‍රකට ජෝසෆ් ස්ටාලින්ගෙන් පසුව වැඩිම කාලයක් සෝවියට් දේශය පාලනය කළ පුද්ගලයා ලෙසයි.

මේවන විටත් ලොව බලවත්ම නායකයා ලෙස කිරුළු දරා සිටින 65 හැවිරිදි ව්ලැදිමීර් පුටින් රුසියාවේ හිටපු රහස් ඔත්තු නිලධාරියෙක්.

කෙසේ වෙතත් රුසියානු ජනාධිපතිවරණ ඡන්ද විමසීම  අතරතුර , එරට මධ්‍යම  මැතිවරණ කොමිසමට සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බවයි විදෙස් වාර්තා පැවසුවේ.