Friday, April 26, 2024

General line - 0115112241

මහසෝන් බලකාය ගැන තවත් අනාවරණයක්..මහනුවර උසස් පොලිස් නිලධාරින්ට ස්ථාන මාරුවීම් ලබාදී නෑ

වසන්ත පිවිතුරු




මධ්‍යම පළාතේ සේවයේ නිරතව ඇති උසස් පොලිස් නිලධාරින් පිරිසකට ස්ථාන මාරූවීම් ලබාදීමට නියමිත බවට තොරතුරු වාර්තා වනවා.

පසුගියදා මහනුවර ප්‍රදේශයේ ඇති වූ සිද්ධියේ දී පොලිසිය නිසි ලෙස සිය රාජකාරිය ඉටුකිරිමට කටයුතු නොකිරිම ඊට හේතුව බවයි ආරංචි මාර්ග පවසන්නේ.

මෙම සිද්ධියේ දී පොලිසියට එරෙහිව චෝදනා රැසක් ද එල්ලවී ඇති බව සඳහන්.

කෙසේ වෙතත් මහනුවර දිස්ත්‍රික්කයේ තෙල්දෙනිය සහ දිගන ප්‍රදේශයේ සිදුවූ සිද්ධිය දුරදිග නොයවා එය විසඳීමට පොලිසියට අවස්ථාව තිබුණ ද එහිදී පොලිසිය නොසැලකිල්ලෙන් කටයුතු කර ඇති බව ද චෝදනා එල්ල වී තිබෙනවා.

එම චෝදනා සැළකිල්ලට ගනිමින් මෙම උසස් නිලධාරින් වෙත ස්ථාන මාරුවීම් ලබාදීමට නියමිත බව සඳහන්.

එමෙන්ම උතුර සහ උතුරු මැද පළාත්හිදී රාජකාරියේ නිරතව සිටින උසස් පොලිස් නිලධාරින් මධ්‍යම පළාත වෙත මාරුකිරිමට නියමිතයි.

දැනට මධ්‍යම පළාතේ රාජකාරියේ නිරත උසස් නිලධාරින් යළිත් පොලිස් මූලස්ථානය වෙත කැඳවීමට නියමිත බව ද වාර්තා වනවා.

මේ අතර මහසෝන් බලකාය සහ මෙරට බුද්ධ අංශ නිලධාරින් අතර සම්බන්ධතා ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.එමෙන්ම මහනුවර දිස්ත්‍රික්කයේ සිටින උසස් පොලිස් නිලධාරින් හා මහසෝන් බලකායේ ප්‍රධානියා ලෙස සැළකෙන අමිත් වීරසිංහ අතර ද සම්බන්ධකම් ඇති බවද සඳහන්.

මහනුවර දිස්ත්‍රික්කයේ තෙල්දෙනිය සහ දිගන යන ප්‍රදේශවල ගැටුම් ඇති වූ අවස්ථාවේ දී මහසෝන් බලකායේ ප්‍රධානියා ලෙස සැළකෙන අමිත් වීරසිංහ සහ බුද්ධි අංශයේ නිලධාරින් මෙන්ම පොලිසියේ උසස් නිලධාරින් අතර දුරකථන ඇමතුම් හුවමාරු වී ඇති බවට සිදුකරන පරික්ෂණවලින් අනාවරණය වී ඇති බව ද වාර්තා වනවා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් nethnews.lk පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකරගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ මහනුවර දිස්ත්‍රික්කයේ සේවයේ යෙදී ඇති කිසිදු පොලිස් නිලධාරියෙකුට ස්ථාන මාරුවීම් ලබාදී නොමැති බවයි.

එමෙන්ම මහසෝන් බලකායේ අමිත් වීරසිංහ සහ පොලිස් උසස් නිලධාරින් හෝ බුද්ධි අංශයේ නිලධාරින් සම්බන්ධකම් පවත්වා ඇති බවට කිසිදු තොරතුරක් තමා වෙත වාර්තා වී නොමැති බවයි nethnews.lk වෙත පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර කියා සිටියේ.