Friday, April 26, 2024

General line - 0115112241

පුටින්ගේ ජය බටහිර නිහඬ කරවයි




සිව්වන වරටත් රුසියාවේ නායකත්වයට පත්ව ඇති ජනාධිපති ව්ලැදිමීර් පුටින් වෙත ලෝක නායකයන් සුබ පැතුම් එක්කරමින් සිටිනවා. නැවත වරක් රුසියාවේ ජනතවගේ වැඩි ඡන්දයෙන් තේරීපත් වීමෙන් රට කෙරෙහි ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ අභිමානය පෙන්නුම් කරන බවයි විදෙස් නායකයන් පෙන්වා දෙන්නේ.

ඒ අභිමානය රැකගනිමින් ඉදිරියටත් රුසියානු ජනතාවගේ අවශ්‍යතාවයන් සපුරාලීමට පුටින් කටයුතු කරනු ඇති බවට තමන් විශ්වාස කරන බවයි සුබපැතුම් මගින් විදේශ නායකයින් පවසා ඇත්තේ. 
  
කෙසේ වෙතත් විදෙස් වාර්තා සඳහන් කළේ බටහිර රටවල නායකයන් ජනාධිපති පුටින් නැවත වරක්, තවත් 6 වසරක් සඳහා ජනපති ධුරයට පත්වීම පිළිබඳව මුනිවත රකින බවයි.

චීන ජනාධිපති ෂී - ජින්පින්, ජනාධිපති පුටින් වෙත සුබ පැතුම් පණිවුඩයක් එක් කරමින් සඳහන් කළේ චීනය හා රුසියාව දැන් ඉතිහාසයේ ශක්තිමත්ම සබඳතාවකින් බැදී සිටින බවයි. 

කසකස්ථානය, බෙලෝරුස් ජනරජය, වෙනිසියුලාව, බොලීවියාව සහ කියුබාව යන රටවල නායකයන් ද ජනපති පුටින් වෙත සුබ පැතුම් එක් කර තිබෙනවා.

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද රුසියාවේ සිව්වැනි වරටත් තේරිපත්වූ ජනාධිපති ව්ලැදිමීර් පුටින් වෙත සිය සුබ පැතුම් එක්කර තිබුණා.