Saturday, April 27, 2024

General line - 0115112241

එල්.ටී.ටී.ඊය සැඟවු රත්රන් හා අවි සොයා මෙහෙයුමක් (PHOTOS)

මාධව කුලසූරිය - වවුනියාව




එල්.ටී.ටී.ඊ සංවිධානය අවසන් යුධ සමයේ  මුලතිව් මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ රත්රන් හා ආයුධ තොගයක් වළ දමා ඇති බවට ලද තොරතුරක් මත ඊයේ (20) සවස මුලතිව් ආරක්ෂක අංශ විසින් මුලතිව් මුල්ලිවයිකාල් නැගෙනහිර  ප්‍රදේශයේ කැනීම් සිදුකරනු ලැබුවා.

 

මුලතිව් - පුදුකුඩිඉරිප්පු පොලිසිය හා මුලතිව් ආරක්ෂක අංශ වෙත ලද තොරතුරක් මත පුදුකුඩිඉරිප්පු පොලිසිය විසින් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් නියෝග යටතේ මුලතිව් මහේස්ත්‍රාත් එස්.ලෙනින්කුමාර්ගේ අධීක්ෂණය යටතේ බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ කැනීම් සිදුකෙරුණා.

 

පැය තුනක පමණ කාලයක් අදාළ ස්ථානයේ කැනීම් කටයුතු සිදුකරනු ලැබුව ද ආරක්ෂක අංශ වෙත කිසිදු භාණ්ඩයක් හෝ උපකරණයක් නොලැබුණු අතර, කැනීම් කටයුතු ඊයේ (20) දිනයේ නවතා දැමුවා.

 

එහි නැවත කැනීම් කටයුතු 22 වැනිදා අදාළ ස්ථානයේ දී පවත්වන බවද පොලිසිය පැවසුවා.

 

මීට පෙර ද අවස්ථා ගණනාවකදී මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍ර‍දේශයේ හා මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ එල්.ටී.ටී.ඊ සංවිධානය වළ දැමු රත්රන් පවතින බවට ලද තොරතුරු මත ස්ථාන කිහිපයක කැනීම් කටයුතු සිදුකළ ද කිසිවක් සොයා ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ.

 

කැනීම් වෙනුවෙන් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්, පුදුකුඩිඉරිප්පු පොලිස් නිලධාරීන්, මුලතිව් නාවික හමුදා නිලධාරීන්, මුලතිව් යුධ හමුදා නිලධාරීන්ද එක්ව සිටියා.

 

සිද්ධිය සම්බන්ධයෙන් පුදුකුඩිඉරිප්පු පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙ‍යවනවා.