Saturday, April 27, 2024

General line - 0115112241

"කියන දේ ඇහුවේ නැතිනම් තවදුරටත් ප්‍රහාර" - ට්‍රම්ප් කියයි

වසන්ත පිවිතුරු - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




සිරියානු හමුදාව තවදුරටත් රසායනික අවි යොදා ගනිමින් ප්‍රහාර එල්ල කරන්නේ නම් සිරියාවට එරෙහිව අමෙරිකානු ඒකාබද්ධ හමුදා ප්‍රහාර ද එල්ල වනු ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යළි වරක් සිරියාවට අවවාද කර තිබෙනවා. ජගත් සංවිධානයේ අමෙරිකානු නියෝජිත නිකි හෙළි මේ පිළිබඳව මාධ්‍ය වෙත නිවේදනය කර ඇති බවයි අමෙරිකානු වාර්තා පවසන්නේ.

වසර කිහිපයක් තිස්සේ සිරියාවේ අභ්‍යන්තර ගැටුමක් පවතින අතර පසුගිය 07 වනදා සිරියානු රජයේ හමුදාව විසින් රසායනික අවි යොදා ගනිමින් ප්‍රහාර එල්ල කර ඇති බව සඳහන්.

එම ප්‍රහාරයේ දී කුඩා දරුවන් ඇතුළුව 49 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර අදාළ ප්‍රහාරය අමෙරිකාව, බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය දැඩි ලෙස හෙළා දැක තිබුණා. නමුත් කිසිදු රසායනික අවි භාවිත කරමින් ප්‍රහාර දියත් නොකළ බවයි සිරියාව සහ රුසියාව ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත් අදාළ ප්‍රහාරයට නිසි පිළිතුරක් ලබාදෙන බවයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර සිටියේ. ඒ අතරවාරයේ අමෙරිකානු ඒකාබද්ධ හමුදාව පසුගිය සෙනසුරාදා (14) අළුයම සිරියාවට එරෙහිව ගුවන් ප්‍රහාර එල්ල කරනු ලැබුවා. එහිදී ඔවුන් සඳහන් කළේ සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ගේ පාලනයට එරෙහිව මෙන්ම සිරියාඩෙව් ස්ථානගත කර ඇති රසායනික අවි විනාශ කිරිමේ අරමුණින් මෙම ගුවන් ප්‍රහාරය එල්ල කළ බවයි.

මෙම ප්‍රහාරය චීනය, රුසියාව සහ ඉරානය හෙළා දැක තිබෙනවා. අදාළ අමෙරිකානු ඒකාබද්ධ හමුදාවේ ප්‍රහාර සම්බන්ධයෙන් විවාදයක් පැවත්වීම සඳහා ජගත් ආරක්ෂක මණ්ඩලයට පසුගිය ඉරිදා (15) හදිසියේම රැස්වුණා.

මෙහිදී අමෙරිකාවට විරුද්ධව රුසියාව විසින් යෝජනාවක් ඉදිරිපත් වූ අතර එය ද පරාජයට පත්වුණා.

ජගත් ආරක්ෂක මණ්ඩලයේ සාමාජික රටවල් 15 න් රටවල් 9ක් යෝජනාවට විරුද්ධව මෙහිදී ඡන්දය ලබාදුන් අතර චීනය හා බොලිවියාව යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදුන්නා.

ඉතියෝපියාව, කසගස්ථානය සහ ගිනියාව අදාළ යෝජනාවට ඡන්දය දීමෙන් වැළැකි සිටියා. ඒ අනුව අමෙරිකාවට එරෙහිව රුසියාව ගෙන ආ යෝජනාව පරාජයට පත් වුණා.

කෙසේ වූවත් ජගත් සංවිධානයේ අමෙරිකානු නියෝජිත නිකි හෙළි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ කුඩා දරුවන් හා කාන්තාවන්ට එරෙහිව එල්ල වන ප්‍රහාරවලට අමෙරිකාව විරුද්ධ බවත් ඒ සම්බන්ධයෙන් වටහා දීමේ අරමුණින් පසුගියදා සිරියාවට එරෙහිව ප්‍රහාර දියක් කළ බවයි.

ඔවුන් නැවති වරක් රසායනික අවි යොදා ගන්නේ නම් සිරියාවට එරෙහි ඒකාබද්ධ හමුදා මෙහෙයුම් ඉදිරියටත් සිදුවනු ඇති බවට අමෙරිකානු ජනාධිපතිවරයා තමා වෙත කියා සිටි බවත් ජගත් සංවිධානයේ අමෙරිකානු නියෝජිත නිකි හෙළි වැඩිදුරටත් සඳහන් කළා. ඒ සඳහා අමෙරිකාව අවි සූදානමින් තබා සිටන බවද ඔහු කියා සිටියා.