Saturday, April 27, 2024

General line - 0115112241

හොරණ රබර් කර්මාන්ත ශාලාවේ හිමිකරු අධිකරණයට බාර වෙයි (UPDATE)

හේමන්ත කහවලගේ/චම්ලි ඒකනායක/දිනුක් හේවාවිතාරණ/ලහිරු කපුගේ




ඇමෝනියා සහිත ටැංකියකට වැටී ඉකුත්දා පුද්ගලයන් පස්දෙනෙකු මියගිය හොරණ බැල්ලපිටිය ප‍්‍රදේශයේ රබර් කර්මාන්ත ශාලාවේ හිමිකරු අධිකරණය වෙත බාරවී තිබෙනවා.

ඔහු නීතීඥයකු මාර්ගයෙන් හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද (27) බාරවුණා.

------------------------------------

හොරණ රබර් කර්මාන්ත ශාලාවේ සිදුවීමට තවත් අයෙක් අත්අඩංගුවට  (UPDATE)

21-04-2018 20:05

ඇමෝනියා සහිත ටැංකියකට වැටී ඉකුත්දා පුද්ගලයන් පස්දෙනෙකු මියගිය හොරණ බැල්ලපිටිය ප‍්‍රදේශයේ රබර් කර්මාන්ත ශාලාවේ ජේෂ්ඨ රසායනාගාර පාලකවරිය පොලිසිය විසින් අද (21) අත්අඩංගුවට ගනු ලැබුවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හොරණ දික්හේනපුර ප‍්‍රදේශයේ පදිංචි 42හැවිරිදි කාන්තාවක්. සැකකාර කාන්තාව හෙට හොරණ මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. මෙම සිද්ධියෙන් රෝගාතුර වී හොරණ මූලික රෝහලට ඇතුලත් කෙරුණු එක් අයෙකු තව දුරටත් එම රෝහලේ ප‍්‍රතිකාර ලබනවා. 

 

.........................................................................................................................................................

හොරණ රබර් කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කටයුතු අත්හිටුවයි (20-04-2018 18:29)

හොරණ රබර් කර්මාන්ත ශාලාවේ මෙහෙයුම් කටයුතු අත්හිටුවීමට මධ්‍යම පරිසර අධිකාරිය නියෝග කොට තිබෙනවා. අදාල කර්මාන්ත ශාලාව සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා නිගමනයකට පැමිණෙනතුරු මෙම තාවකාලික තහනම බල පැවැත්වෙනවා.

-------------------------------------

හොරණ රබර් කර්මාන්ත ශාලාවේ කළමණාකරු රිමාන්ඩ්

20-04-2018 13:59

හොරණ රබර් කර්මාන්ත ශාලාවේ කළමණාකරු රක්ෂිත බන්ධනාගාරගතකර තිබෙනවා. ඒ ලබන 25දා දක්වායි.

------------------------------------------

20-04-2018 11:59

හොරණ බැල්ලපිටිය ප‍්‍රදේශයේ රබර් කර්මාන්ත ශාලාවක සිදුවූ අනතුරින් පුද්ගලයින් 05 දෙනෙකු මියයාම සම්බන්ධයෙන් තවත් තොරතුරු අනාවරණය වෙමින් තිබෙනවා. මේවනවිට අනාවරණ වී ඇත්තේ ඇමෝනියා වායුවට අමතරව මීතේන් සහ හයිඩ‍්‍රජන් පෙරොක්සයිඞ් යන විෂ වායුන්ද ආඝ‍්‍රාණය වීම  මරණවලට හේතුවී ඇති බවටයි.  

සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයින් 05 දෙනාගේ පශ්චාත් මරණ පරික්ෂණ අද පෙරවරුවේ හොරණ මූලික රෝහලේදී ආරම්භ වුණා. සිද්ධියෙන් පසුව රෝහල්ගත කළ සංඛ්‍යාව 34ක්. ඉන් 19 දෙනෙකු පමණක් තවදුරටත් නේවාසිකව ප‍්‍රතිකාර ලබනවා. ඒ අතර සිටින දෙදෙනෙකුගේ තත්ත්වය බරපතලයි. සෙසු පිරිස ප‍්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බව රෝහලේ ප‍්‍රකාශකයෙකු සඳහන් කළා. 

ඊයේ පස්වරුවේ පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ හොරණ බැල්ලපිටිය රබර් කර්මාන්ත ශාලාවේ කළමනාකරු අද අධිකරණයට ඉදිරිපත් කරන බවයි පොලීසිය පැවසුවේ.
 

------------------------------

හොරණ රබර් කර්මාන්ත ශාලාවේ අනතුරෙහි වගකීම ජනපති  බාරගත යුතුයි 

20-04-2018 05:53

පස් දෙනෙකුට මරු කැඳවමින්, හොරණ බැල්ලපිටියේ රබර් කර්මාන්ත ශාලාවක සිදුවූ අනතුරෙහි වගකීම, පරිසර අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් බාරගතයතු බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසනවා. මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මේ බව පවසනවා.

සම්පූර්ණ මාධ්‍ය නිවේදනය පහතින් කියවන්න.

 2018-04-19
 

මාධ්‍ය නිවේදනය.
 

හොරණ රබර් කර්මාන්ත ශාලාවේ ඇතිවූ අවාසනාවන්ත සිදුවීමේ වගකීම පරිසර ඇමතිවරයා ලෙස ජනාධිපතිවරයා බාරගත යුතුයි.

හොරණ ප්‍රදේශයේ පිහිටි රබර් කර්මාන්ත ශාලාවක ඇතිවූ අවාසනාවන්ත සිදුවීමෙන් මියගිය 5 දෙනාගේ වටිනා ජීවිත වල වගකීම සෘජුවම පරිසර ඇමතිවරයා වශයෙන් ජනාධිපතිවරයා බාරගතයුතු බව අප සංවිධානය තරයේ ප්‍රකාශ කරමු.

මෙවැනි කර්මාන්ත ශාලා පිළිබඳව සොයා බැලීම කලයුත්තේ ජනාධිපති වරයා යටතේ ඇති මධ්‍යම පරිසර අධිකාරීයයි. මධ්‍යම පරිසර අධිකාරියේ දූෂණ වංචා පිළිබදව අප සංවිධානය විසින් ජනාධිපතිවරයාට කිහිපවිටක්ම පැමිණිලි කළද එම පැමිණිලි වලට කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැත. මෙරට මාධ්‍ය ආයතන පවා මෙම කර්මාන්ත ශාලාව ඇතුළු තවත් කර්මාන්ත ශාලා පිළිබදව නොයෙක් වර හෙළිදරව් කර ඇත.

සමහර කර්මාන්ත ශාලා සදහා අවශ්‍ය පරිසර සහතික ලබා ගෙන නැති අතර තවත් කර්මාන්ත ශාලා පරිසර සහතික ලබා ගෙන ඇත්තේ මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන්ට අල්ලස් ලබා දී මෙන් බව අපි වගකීමෙන් පවසන්නෙමු. පාලකයන්ගේ වැරදි වලට ජනතාව දඬුවම් විදින යුගය වහා නැවත්වීමට රජය කටයුතු කළ යුතු අතර අදාල කර්මාන්ත ශාලාවේ ඇති වූ සිදුවීමට ජනාධිපතිවරයා කනගාටුව ප්‍රකාශ කිරීමෙන් හෝ වන්දි ලබා දීමෙන් පමණක් නොනැවතී මෙරට කර්මාන්ත ශාලා වල සේවය කරන සේවකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමටත් මධ්‍යම පරිසරි අධිකාරියේ දූෂණ වංචා පිලිබදව සොයා බැලීමට කටයුතු කරන ලෙසත්  අපි ජනාධිපති වරයාගෙන් ඉල්ලා සිටිමු.
 
මෙයට, විශ්වාසි           

 රංජිත් විතානගේ - සභාපති

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

------------------------------------------

සේවකයින් 05ක් මරුදුටු කර්මාන්ත ශාලාවේ කලමණාකරු අත්අඩංගුවට

19-04-2018 17:53

ඇමෝනියා ටැංකියකට ඇද වැටී සේවකයින් 05ක් මරණයට පත්වූ රබර් කර්මාන්ත ශාලාවේ කලමණාකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි. හොරණ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වනවා.


--------------------------------

රබර් කම්හලක අනතුරින් 5ක් මරුට

19-04-2018 14:28

හොරණ බැල්ලපිටිය ප‍්‍රදේශයේ රබර් කර්මාන්ත ශාලාවක අද පස්වරුවේ අවාසනාවන්ත සිද්ධියක් සිදුවුණා. ඒ, පුද්ගලයින් 05 දෙනෙකුට දිවි අහිමි කරමින්. අනතුර සිදුවුණේ පස්වරු 01. 20ට පමණයි. කර්මාන්ත ශාලාවේ තිබූ ඇමෝනියා සහිත ටැංකියකට එක් පුද්ගලයෙකු වැටී ඇති අතර ඔහු බේරා ගැනීමට ගිය තවත් 20කට ආසන්න පිරිසක් ද එම ස්ථානයට ගොස් තිබෙනවා. ඒ අතර සිටි කිහිප දෙනෙකු ටැංකියට පැන ඇති බවද සඳහන්. පසුව ඔවුන් සියලූ දෙනා හොරණ රෝහලට ඇතුළත් කෙරුණු අතර ඉන් 05 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

රෝහලේ ප‍්‍රතිකාර ලබන සංඛ්‍යාව 34ක්. ඉන් සැලකිය යුතු පිරිසක් මෙම සිද්ධිය නැරඹීමට පැමිණි අය බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ. ප‍්‍රතිකාර ලබන එක් අයෙකුගේ තත්ත්වය බරපතල බවද ප‍්‍රකාශ කෙරුණා. ඇමෝනියා වළට වැටුනු සියලූ දෙනාම සිහිසුන් වී සිටි බව හොරණ මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී වෛද්‍ය සමර කලූබෝවිල පැවසුවා. ඇමෝනියා වායුවට අමතරව තවත් විෂ වායු ආඝ‍්‍රාණය වීමේ හැකියාවක්ද පැවතිය හැකි බවයි රෝහල් අධිකාරීවරයා වැඩිදුරටත් පැවසුවේ. 

අනතුර සිදුවූ රබර් කර්මාන්ත ශාලාව ආසන්නයට ජනතාව පැමිණීම වැළැක්වීම සඳහා ඒ අවට ආරක්ෂාව දැඩි කිරීමට පියවර ගෙන ඇති බවද පොලීසිය පැවසුවා.

පස් දෙනෙකුට ජිවිත අහිමි කළ මෙම කර්මාන්ත ශාලාව සම්බන්ධයෙන් නෙත් එෆ් එම් බැලූම්ගල වැඩසටහනින්ද මීට පෙර කරුණු අනාවරණ කෙරුණා. ඒ,අවට ජනතාව පීඩාවට පත්වන පරිදි අහිතකර ලෙස පරිසරයට අපද්‍රව්‍ය මුදා හරින බව පෙන්වා දෙමින්. එමෙන්ම මෙම කර්මාන්ත ශාලාව පත්වාගෙන යාම සඳහා පාරිසරික බලපත‍්‍ර පවා ලබා ගෙන නොතිබූ බවයි නෙත් එෆ් එම් බැලූම්ගල වැඩසටහනින් කරුණු අනාවරණ කෙරුණේ.