Friday, April 26, 2024

General line - 0115112241

ප්‍රංශයට ඊයේ රෑත් ISIS ත්‍රස්ත ප්‍රහාරයක් (VIDEO)

පවිත්‍රා මදුහර්ෂණි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




මද නිහැඬියාවකින් අනතුරුව ප‍්‍රංශය තුළ ඊයේ (12) යළිත් ත‍්‍රස්ත භීතිය ඇතිවුණා. ඒ ප‍්‍රංශයේ පැරිස් අගනුවර රියුමොන්සිනී ප‍්‍රදේශයේදී ත‍්‍රස්ත සැකකරුවෙකු විසින් සාමාන්‍ය වැසියන් ඉලක්ක කර පිහි ඇනුම් ප‍්‍රහාරයක් එල්ල කිරීමත් සමගයි.

පැරිස් ඔපෙරා හලට යාබද ජනාකීර්ණ ස්ථානයකට කඩා වැදුනු අදාළ පුද්ගලයා එම ස්ථානයේ සිටි පිරිස ඉලක්ක කර පිහි ඇනුම් ප‍්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

සිද්ධිය ඇසින් දුටුවන් පවසන්නේ ආයුධයක් අතැතිව සිටි එම පුද්ගලයා ඉස්ලාම් වැකි පවසමින් සිවිල් වැසියන් වෙත ප‍්‍රහාර එල්ල කළ බවයි.

එසේම ‘‘ඔබලා මාව නොමැරුවොත් මා ඔබලාව මරණවා’’ යනුවෙන් ද ඔහු අසල සිටි පිරිසට තර්ජනය කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා.

සැකකරුගේ ප‍්‍රහාරවලින් මිදීම සඳහා ඇතැමුන් අසල පිහිටි වෙළඳසැල් තුළ සැඟවී තිබුණා. කෙසේ වෙතත් පිහි ඇනුම් හේතුවෙන් එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තවත් සිව් දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. සිද්ධිය සැලවීමත් සමග අදාළ ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් එල්ල කළ වෙඩි ප‍්‍රහාර හමුවේ සැකකරු ජිවිතක්ෂයට පත්වුණා. පැය කිහිපයක් ගතවීමත් සමග අදාළ ප‍්‍රහාරයේ වගකීම අයි එස් සටන්කාමීන් විසින් භාර ගෙන තිබෙනවා. අයි එස් ත‍්‍රස්තයින් පවසා ඇත්තේ සිය සොල්දාදුවෙකු විසින් එම ප‍්‍රහාරය එල්ල කළ බවයි. 

කෙසේ වෙතත් සිද්ධියෙන් අනතුරුව පැරිස් අගනුවර තුළ එරට ආරක්ෂක අංශ විසින් විශේෂ මෙහෙයුමක්ද ආරම්භ කළා.

ප‍්‍රහාරයෙන් අනතුරුව විශේෂ නිවේදනයක් නිකුත් කළ ප‍්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රන් පැවසුවේ යළිත් වරක් සිය ලේ වලින් වන්දි ගෙවීමට ප‍්‍රංශ වැසියන් හට සිදුවූ බවයි.

කෙසේ වෙතත් ඉරාකයේ සහ සිරියාවේ යුද්ධයට මැදිහත් වීමත් සමගම වසර තුනක පටන් ප‍්‍රංශය ඉලක්ක කර ත‍්‍රස්ත ප‍්‍රහාර මාලාවක් එල්ල වෙමින් පවතිනවා. මෙම ප‍්‍රහාරය වාර්තා වුණේද ප‍්‍රංශය තුළ ත‍්‍රස්ත අවධානම ඉහළ දමා ඇති පසුබිමක් තුළයි.