Saturday, April 27, 2024

General line - 0115112241

ඉහල කොත්මලේ ජලාශයේ වාන් දොරටු 04 ක් විවෘත කරයි (PHOTOS/ VIDEO) (UPDATE)

සුපෙම් මානගේ/චම්ලි ඒකනායක/හිනිදුම රවින්ද්‍ර චන්ද්‍රලාල්/රංජිත් රාජපක්ෂ/ජූඩ් සමන්ත/පාලිත ආරියවංශ




මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ලැබමින් පවතින අධික වර්ෂාවත් සමග ඉහල කොත්මලේ ජලාශයේ වාන් දොරටු හතරක් සහ ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු 02 ක් මේ වන විට විවෘත කර තිබෙනවා.

පවතින වර්ෂාවත් සමග නොර්ටන්බ්‍රිජ්, විමලසුරෙන්ද්‍ර ජලාශයේද අද (21) දහවල් සිට වාන් දැමීමට පටන් ගෙන තිබෙනවා. මේ අතර සෙන්ක්ලෙයාර් සහ ඩෙවොන් දිය ඇලි වල ජල මට්ටමද ඉහල ගොස් ඇති බව අප නෙත් නිවුස් වාර්තාකරු සදහන් කරනවා.

 

 

 

..........................................................................................................................................................

කැළණි ගඟ පිටාර ගලයි : නාවලපිටියේ පවුල් 121ක් අවතැන් 

(21-05-2018 17:37)

 

ඇදහැළුණු වර්ෂාවත් සමග කැළණි ගඟ පිටාර ගැලීම හේතුවෙන් නාවලපිටිය ප්‍රදේශය ජලයෙන් යටවීම හේතුවෙන් මේ වන විට පවුල් 121ක් පිඩාවට පත්ව තිබෙන බව අප නෙත් නිවුස් වාර්තාකරු සදහන් කරනවා.

 

 

................................................................................................................................................................

ගිනිගත්හේන දියගල ප්‍රදේශයේ නාය යෑමක් : වාහන ධාවනය ඇණ හිටි

(21-05-2018 15:25)

හැටන් කොලඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන දියගල ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු අද (21) දහවල් 12 සිට සම්පුර්ණයෙන්ම ඇණ හිටි බව ගිනිගත්හේන පොලිසිය පවසනවා.

එම ස්ථානය නාය යැමේ අවධානම් ස්ථානයක් බව හදුනා ගැනිමෙන් පසු මාර්ග සංවර්ධන අධිකාරිය මගින් එම ස්ථානයේ නායයාම වැලැක්විම සදහා ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරමින් තිබෙන ස්ථානයකයි මෙසේ පස් කන්දක් කඩා වැටි ඇත්තේ.

ප්‍රධාන මාර්ගයට කඩා වැටි ඇති පස් සහ ගල් ඉවත්කිරිමේ කටයුතු එම ස්ථානයේ ප්‍රතිසංසකරණ කටයුතු සිදු කරන අදාළ සමාගම සහ මාර්ග සංවර්ධන අධිකාරිය මගින් සිදු කලත් තවදුරටත් කදු මුදුනේ සිට ප්‍රධාන මාර්ගයට පස් සහ විශාල ගල් පර්වත කඩාගෙන ඒම නිසා එම මාර්ගයේ ගමනා ගමන කටයුතු යලි යථා තත්ත්වයට පත් කිරිම ප්‍රමාද වී තිබෙනවා.

තවදුරටත් එම ප්‍රදේශයට ඇදහැලෙන වර්ෂාවත් සමග නායයාමේ අවධානම වැඩි නිසා හැටන්-කොළඹ ,හැටන්-මහනුවර, හැටන්ගි-නිගත්හේන, හැටන්-ලක්ෂපාන යන ප්‍රදේශවලට ගමන් ගන්නා වාහන විකල්ප මාර්ග ඔස්සේ ධාවනය කරන ලෙස ගිනිගත්හේන පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.

 

 

..........................................................................................................................................................................

ගිංගඟ පිටාර ගැලීම හේතුවෙන් හිනිදුම-නෙළුව,තවලම ප්‍රදේශයන්ට දැඩි බලපෑම්

(21-05-2018 15:25)

අධික වර්ෂාවත් සමග  ගිංගඟ පිටාර ගැලීම හේතුවෙන් හිනිදුම නෙළුව තවලම වැනි ප්‍රදේශයන්ට දැඩි බලපෑම් එල්ලවී තිබෙනවා. මේ හේතුවෙන් උඩුගම නෙළුව මාර්ගය ජලගැලීම් නිසා අවහිරවීම නිසා  එම මාර්ගයේ රථවාහන ධාවනය සම්පූර්ණයෙන්ම පාහේ මේ වන විට ඇණහිට තිබෙන බවයි අප නෙත් නිවුස් වාර්තාකරු සදහන් කලේ.

............................................................................................................................................................

ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු ස්වංක්‍රීයව විවෘත විය හැකි බවට අනතුරු අඟවයි

(21-05-2018 10:12)

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඊයේ (20) පස්වරුවේ සිට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු දෙකක් ඊයේ  රාත්‍රියේ සිට විවෘත කර ඇති බව nethnews.lk වාර්තාකරු පවසනවා.

තවදුරටත් වැසි ලැබෙමින් පවතින නිසා එම ජලාශ වේල්ලේ සෙසු වාන් දොරටු ස්වයංක්‍රියව විවෘත වන හේතුවෙන් වේල්ලට පහලින් කොත්මලාඔය දෙපස පදිංචිකරුවන් සැලකිලිමත්ව සිටින ලෙස එම විදුලි බලාගාරයේ ඉංජිනේරුවන් ඉල්ලා සිටිනවා.

අධික වර්ෂාවත් සමග ඩෙවොන් දියඇල්ලේද ජල ධාරිතාව ඉහල ගොස් ඇති අතර, ඉහල කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කිරිමත් සමග සෙන්ක්ලෙයාර් දිය ඇල්ලේද ජල ධාරිතාව ඉහල ගොස් තිබෙනවා.

නුවරඑළිය හැටන් ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයකම පස් කදු කඩා වැටි ඇති අතර තව දුරටත් පවතින වර්ෂාවත් සමග පස් කදු කඩා වැටිමේ අවධානමක් පවතින නිසා එම මාර්ගවල වාහන ධාවනය කිරිමේදි සැලකිලිමත් වන ලෙසයි රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ.

මේ අතර කලා ඔයේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් පුත්තලම - මන්නාරම මාර්ගයේ ගමනා ගමන කටයුතු ඇණ හිට ඇති බව පුත්තලම ආපදා කළමණාකරන ඒකකය සදහන් කරනවා.

එළුවන්කුලම සපත්තු පාලමෙන් මේ වන විට අඩි දෙකහාමාරක පමණ ජලයක් ගලා යන බැවින් එම ස්ථානයෙන් වාහන ගමන් කිරීමට නොහැකි වී ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙම තත්ත්වය නිසා පුත්තලමේ සිට මන්නාරම දක්වා ගමන් කරන වාහන විකල්ප මාර්ග ඔස්සේ ගමන් කළ යුතු බවද පුත්තලම ආපදා කළමණකරන ඒකකය සඳහන් කරනවා.

තවද පවතින අධික වැසි සහිත කාලගුණික තත්ත්වය සමග දිවයිනේ ප‍්‍රදේශ රැසකින් ආපදා වාර්තා වනවා. අපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දත්තවලට අනුව සිදුව ඇති පුද්ගල මරණ සංඛ්‍යාව 05ක්. නිවස මතට පස් කන්දක් කඩා වැටිමෙන් බුලත්කොහුපිටිය ප‍්‍රදේශයේ්දී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණා. සෙසු මරණ 04ම සිදුව ඇත්තේ අකුණු සැර වැදීමෙන්. 

 

------------------------------------

අද සහ හෙට ප්‍රදේශ කිහිපයක පාසල් වැසේ (UPDATE)

(21-05-2018 08:15)

 

රත්නපුර, නිවිතිගල හා දෙහිඕවිට යන අධ්‍යාපන කලාපවල සියළු පාසල් අද (21) සහ හෙට (22) යන දින දෙක තුළ වසා දැමීමට තීරණය කර තිබෙනවා. 

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට මේ වන විට පවතින අයහපත් කාලගුණය හේතුවෙන් සහ දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම පියවර ගැණුනා.

 

---------------------------

උඩරට දුම්රිය මාර්ගයේ ස්ථානයකට පස් කන්දක් කඩා වැටෙයි - දුම්රිය ධාවනය ඇණහිටි (UPDATE)

(21-05-2018 07:33)

 

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයටද බාධා එල්ල වී තිබෙනවා.

මේ වන විට තොරතුරු වාර්තා වෙන්නේ උඩරට දුම්රිය මාර්ගට පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් දුම්රිය ධාවනය බදුල්ලේ සිට ඇණ හිට ඇති බවයි. 

උඩරට දුම්රිය මාර්ගයේ ඉදල්ගස්හින්න හා ඔහිය අතර ස්ථානයකදී මෙම පස්කන්ද කඩාවැටිම සිදුව තිබෙනවා. මේ නිසා කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වෙමින් තිබු රාත්‍රි තැපැල් දුම්රිය ද ඔහිය දුම්රිය ස්ථානයේ නතර කර තිබෙනවා. 

අද (21) අලුයම් කාලයේ පස් කන්ද කඩා වැටීම සිදුව තිබෙන බවයි වාර්තා වුණේ.
 

----------------------------

කෑගල්ල - අවිස්සාවේල්ල මාර්ගයේ ස්ථානයක රථවාහන ධාවනය ඇණ හිටී (UPDATE)

(21-05-2018 07:12)

 

කෑගල්ල අවිස්සාවේල්ල මාර්ගයේ රථවාහන ධාවනය ඇණ හිටීමක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වෙනවා.

එම මාර්ගයේ තල්දූව සහ ඉහළ තල්දූව අතර ප්‍රදේශය ජලයෙන් යටවීම හේතුවෙන් මෙලෙස රථවාහන ධාවනය ඇණ හිට ඇති බවයි වාර්තා වුණේ.
 

------------------------

තබ්බෝව වැවෙත් වාන් දොරටු විවෘත කෙරේ  (PHOTOS) (UPDATE)

(21-05-2018 06:08)

 

තබ්බෝව වැවේ වාන් දොරටු විවෘත කිරීමට තීරණය කර ඇති බැවින් පහත් බිම්වල පදිංචිකරුවන්ට අවදානයෙන් පසුවන ලෙස ඉල්ලීමක් කරන බව පුත්තලම ආපදා කළමණාකර ඒකකය සඳහන් කරනවා.

අද (21) පෙරවරුවේ ජල දොරටු විවෘත කිරීමට නියමිතව පවතිනවා.

ඒ අනුව තබ්බෝව පහල කොටසේ එනම් තම්මැන්නාව ප්‍රදේශයේ පදිංචිකරුවන් ඉවත් කිරීමට කටයුතු කර ඇති බවද ආපදා කළමණාකරන ඒකකය සඳහන් කරනවා.

මේ අතර,රතඹලාඔය පිටාර ගැලීම නිසා ආණමඩුව - හලාවත මාර්ගයේ ගමනා ගමනයට බාධා එල්ල වී තිබෙනවා.

එම මාර්ගයේ ගමන් කරන වාහන විකල්ප මාර්ග ඔස්සේ ගමන් කරන ලෙසද පොලීසිය දන්වා සිටිනවා.

රතඹලාඔය පිටාර ගැලීම හේතුවෙන් ජලයෙන් කොටුවී සිටි පවුල් 03 ක් පමණ ඊයේ (20) රාත්‍රියේ නාවික හමුදාව විසින් ගලවා ගෙන තිබෙනවා. කටුපත වැව වාන් දැමීම නිසා කොටු වී සිටි තවත් පවුල් කීපයක් කටුපත ගොවි සංවිධානයේ නියෝජිතයින් විසින් ගලවා ගෙන ඇති බව පුත්තලම ආපදා කළමණාකරන ඒකකය සඳහන් කළා.

පුත්තලම දිස්ත්‍රික්කයේ බොහෝ ස්ථානවලට තවමත් වැසි ඇද හැලෙමින් පවතින බවයි nethnews.lk වාර්තාකරු සඳහන් කළේ.

 

-------------------------------

ගිං ගඟ පිටාර ගලයි : මාර්ග කිහිපයක් ජලයෙන් යටවෙයි   (PHOTOS) (UPDATE)

(21-05-2018 05:45)

 

 

ගිං ගඟ පිටාර ගැලීම හේතුවෙන් උඩුගම - අකුරැස්ස, උඩුගම-නෙළුව මාර්ගයන් ජලයෙන් යටවීම නිසා වාහන ධාවනය කිරීම පවා මේ වන විට ඇණහිට ඇතැයි අප නෙත් නිවුස් වාර්තාකරු සදහන් කරනවා. මාර්ගයේ ඇතැම් ස්ථාන අඩි 05 ක් පමණ ජලයෙන් යටවී තිබෙන බවයි වාර්තා වන්නේ.

හදිසි ගලවා ගැනීම් සදහා නාවික හමුදාවේ ජීවිතාරක්ෂක කණ්ඩායම්ද මේ වන විට ගාල්ල, තවලම ප්‍රදේශයට පැමිණ තිබෙනවා.

 


 

.............................................................................................................................................

අයගම සහ කිරිඇල්ල ප්‍රදේශයේ නිවාස රැසක් ජලයෙන් යටවෙයි

(20-05-2018 21:11)

කළු ගඟෙහි අතු ගංගාවක් වන ගලතුර ගඟ පිටාර යාම හේතුවෙන් අයගම සහ කිරිඇල්ල ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයන්හි නිවාස රැසක් ජලයෙන් යටවී තිබෙනවා.

අයගම, ඉඩංගොඩ මාර්ගය ස්ථාන ගනනාවකින් අද (20) පස්වරු 7 පමණ වනවිටත් යටව තිබෙනවා. ඒ හේතුවෙන් ගම්මාන රැසක දහස් සංඛ්‍යාත පිරිසක් ගමනාගමනය සීමා වීම හේතුවෙන්ද පීඩාවට පත්ව තිබෙනවා. ඊයේ (19) රාත්‍රියේ සිට ඇද හැලෙන වර්ෂාව මේ වන විටත් අඛණ්ඩව පවතිනවා.

.......................................................................................................................................................

මධ්‍යම කඳුකරයට තද වැසි: ලක්ෂපානේ වාන්දොරටු විවෘතයි

(20-05-2018 17:57)

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඇදහැලෙන වැසි තත්ත්වයේ වැඩි වීමත් සමග ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු දෙකක් මේ වන විට විවෘත කර ඇති බව නෙත් නිවුස් අප වාර්තාකරු සඳහන් කර සිටිනවා.

ඊට අමතරව කාසල්රී, කැනියන් හා විමලසුරෙන්ද්‍ර යන ජලාශයන් ආශ්‍රිතවද අද (20) පස්වරුවේ සිට ධාරානිපාත වැසි ඇදහැලෙමින් පවතින බවයි වාර්තා වන්නේ.

මේ අතර නාවලපිටිය නගරයද ඇදහැළුණු වර්ෂාවත් සමග ජලයෙන් යටවූ බවයි අප වාර්තාකරු පැවසුවේ.

 

................................................................................................................................

අධික වර්ෂාවෙන් ගාල්ල යටවෙයි (PHOTOS)

(20-05-2018 17:57)

පවතින ධාරානිපාත වැසි නිසා ගාල්ල නගරයට පිවිසෙන මාර්ග රැසක් අද (20) ජලයෙන් යටවී තිබෙන බව ගාල්ල අප නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කරනවා.

ගාල්ල, බද්දේගම මාර්ගයේ හිරිඹුර ප්‍රදේශය සහ දන්ගෙදර ප්‍රදේශය ජලයෙන් යටවී තිබු අතර ඒ හේතුවෙන් රථවාහන ධාවනයට බාධා එල්ල වුනා. මුහුද රළුවීම නිසා ගාල්ල දෙවට, ජාකොටු වැල්ල, රත්ගම වැල්ල, කඩේවැල්ල ධීවරයෝ මුහුදු යාමෙන් වැළකී සිටි බවයි අප වාර්තාකරු පැවසුවේ

මේ අතර ගිංගගේ ජල මට්ටමද ඉහළ නගිමින් පවතින බව වාර්තා විය.