Saturday, April 27, 2024

General line - 0115112241

ඔබට වඩා ශක්තිය අප සතුව තිබෙනවා කියමින් අමෙරිකානු ජනපති උතුරු කොරියානු නායකයාගේ සමුළුව අවලංගු කරයි (PHOTOS)

දිනුක් හේවාවිතාරණ




උතුරු කොරියානු නායක කිම් ජෝන් අන් සමග ජුනි 12 වැනිදා පැවැත් වීමට  සැලසුම් කර තිබු හමුව තමන් විසින් අවලංගු කරන බවට දන්වා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලිපියකින් දැනුම් දී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරනවා.

අමෙරිකානු ජනාධිපතිවරයා සිය ලිපියේ සදහන් කර ඇත්තේ උතුරු කොරියානු නායකයා ගේ " අසිමාන්විත කෝපය සහ විවෘත වෛරය හේතුවෙන්" තමන්ට මෙම පියවර ගැනීමට සිදුවූ බවයි.

" මුළු මහත් ලෝකයටම සාමය සදහා වූ ඉතා හොද අවස්ථාවක් ගිලිහි ගිය බවටත් ඉදිරියේ දිනයකදී යලි හමුවීමේ හැකියාවක් ඇති බවටත්" ජනපති ට්‍රම්ප් සිය ලිපියේ වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.

අමෙරිකානු ජනාධිපතිවරයා ගේ මෙම තීරණය ප්‍රකාශයට පත් කරනු ලැබුවේ උතුරු කොරියාව විසින් තමන් සතුව තිබු එකම න්‍යෂ්ටික පරීක්ෂණාගාරයේ උමං මාර්ග  විනාශ කර පැයකට පමණ පසු වීමද විශේෂත්වයක් වනවා.

"මම ඔබ සමග සාකච්ජා කිරීමට බොහෝ සෙයින් අපේක්ෂාවෙන් පසුවුවා. කනගාටුවට කරුණක් වන්නේ, ඔබ මෑත කාලයේ සිදුකල ප්‍රකාශ වලින් පෙන්නුම් කරන ලද දැවැන්ත කෝපය හා විවෘත වෛරය මත පදනම්ව, දිගු සැලසුම් සහිත රැස්වීමක් පැවැත්වීමට මේ අවස්ථාවේ නුසුදුසු බව" ජනපති ට්‍රම්ප් කියා තිබෙනවා.

"ඔබ විසින් ඔබගේ න්‍යෂ්ටික හැකියාවන් ගැන කතා කරනවා, නමුත් අප සතුව ඊට වඩා අතිශයින් දැවැන්ත හා බලසම්පන්න දේවල් පවතිනවා. මම දෙවියන් වහන්සේට යාච්ඤා කරනවා කිසිදු අවස්ථාවක ඒවා භාවිතයට ගත යුතු නැහැයි කියා" යනුවෙන් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් තමන් විසින් උතුරු කොරියානු නායකයාට ලියු ලිපියේ සටහන් කර තිබෙනවා.