Friday, April 26, 2024

General line - 0115112241

ප්‍රධාන ගංගා සියල්ලේ ජල මට්ටම පහළට - නාගලගම් වීදිය පමණක් ඉහළ නගී (UPDATE)




ප‍්‍රධාන ගංගාවල ජල මට්ටම් මේ වනවිට ක‍්‍රමයෙන් පහල යමින් පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ. කැළණි ගගේ ඉහළ ප‍්‍රදේශවල ජල මට්ටම් මේ වනවිට අඩුවෙමින් පවතිනවා. මේ හේතුවෙන් නාගලගම්වීදිය ප‍්‍රදේශයේ කැළණි ගගේ ජල මට්ටම පිළිබදව අවධානයෙන් සිටින ලෙසයි එහි දෙපස සිටින ජනතාවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ. කළු ගගේ ජල මට්ටමද අඩුවෙමින් පවතිනවා. ගිං සහ නිල්වලා යන ගංගාවල ජල මට්ටම්ද ක‍්‍රමයෙන් අඩුවෙමින් පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කළේ.

මේ වන විට මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 19 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

----------------------------------

ප්‍රධාන ගංගාවල ජල මට්ටම පහළට - නිරිතදිගට තවදුරටත් වැසි (UPDATE)

26-05-2018 07:15

ප‍්‍රධාන ගංගාවල ජල මට්ටම් මේ වනවිට පහළ යමින් පවතිනවා. ඉකුත් පැය කිහිපයේදී ප‍්‍රධාන ගංගා ධාරා ආශි‍්‍රතව සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී නොමැති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ විද්‍යා අධ්‍යක්‍ෂ මාලා අලවතුගොඩ පැවසුවේ.

කෙසේවෙතත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය තවදුරටත් අපේක්‍ෂා කරන බවයි. මේ එහි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලින්ද මිල්ලන්ගොඩ පවසන්නේ.

දිවයින වටා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප‍්‍රදේශවල සුළගේ වේගයද වැසි පවතින අවස්ථාවේ පැයට කිලෝමීටර් 70 ත් 80 ත් අතර දක්වා වැඩි විය හැකි බවයි මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ. ඒ පිළිබදව විමසිලිමත් වන ලෙසයි ධීවර සහ නාවික ප‍්‍රජාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.
------------------------------

ආපදා වලින් පුද්ගලයින් 16 ක් මරුට : අත්තනගලු ඔයත් පිටාර මට්ටටමේ 

25-05-2018 17:09

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් මේ වන විට මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 16 ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.දිස්ත්‍රික් 20 ක පිඩාවට පත්වූ පවුල් 35,129 ක පුදගලයින් 138,292 ක් වාර්තා වී ඇති බව ආපදා කළමණාකරන අමාත්‍යංශය දැනුම් දෙනවා.

ආපදා තත්ත්වය හේතුවෙන් පවුල් 13,199 ක පුද්ගලයින් 53,616 ක් මේ වන විට ආරක්‍ෂිත කඳවුරු 231 ක රදවා තබා ඇති අතර ආපදා සහන සදහා රුපියල් මිලියන 35.66 ක් මේ වන විට ලබා දී ඇති බව ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය නිවේදනය කරනවා.

ගතවූ පැය 18ක සහ 24 ක කාලය අතර වාරයේදී වාර්තා වූ වැඩිම වර්ෂාපතන අගය ලෙස වාර්තා වුයේ මිලිමීටර් 169 ක් වන අතර ඒ රත්නපුර හින්දුව ප්‍රදේශයෙන්. සෙසු වර්ෂාපතන අගයන් වුයේ මොරගස්වැව (දැදුරු ඔය) මිලි මීටර් 151ක්, ගම්පහ 138.5, කුලියාපිටිය 120.5, ආනමඩුව 117.8, තබ්බෝව 104.2 සහ කොළඹ 55.8 ක් ලෙසයි.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කල නායයාමේ අනතුරු ඇඟවීමේ නිවේදනය රත්නපුර, කෑගල්ල, කළුතර, බදුල්ල, මහනුවර, මාතලේ, නුවරඑළිය, ගාල්ල, කොළඹ සහ කුරුණෑගල යන දිස්ත්‍රික්ක සදහා තවමත් බලපැවැත්වෙනවා.

තබ්බෝව ජලාශයේ වාන්දොරටු 20 අද උදෑසන සිට විවෘත කර ඇති අතර මාඔය සහ අත්තනගල්ල ඔයේ ජල මට්ටම ගංවතුර තත්ත්වයක් දක්වා ඉහල ගොස් ඇති බව ආපදා කළමණාකරන මධ්‍යස්ථානය දැනුම් දෙනවා. මිට අමතරව වාන් දොරටු විවෘත කර තිබෙන කුකුලේ ගඟ, බතලේගොඩ වැව, දැදුරු ඔය, ලක්ෂපාන, ඉහල කොත්මලේ, රාජාංගනය සහ උඩවලව ජලාශයන් වලට ආසන්න වාරි කළාප වල ජිවත් වන ජනතාවට අවධානයෙන් පසුවන්නැයි දැනුම් දෙනවා.

එමෙන්ම හෙට දිනයේදී වැසි සහිත කාලගුණික තත්ත්වයක් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.

 

 

........................................................................................................................................................................

අත්තනගලු ඔයේ ජල මට්ටම ඉහළට 

(25-05-2018 17:09)

අත්තනගලු ඔයේ ජල මට්ටම ඉහල යාමත් සමග මේ වන විට ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් ඇතිව තිබෙන බව ආපදා කළමණාකරන මධ්‍යස්ථානය නිවේදනය කරනවා.

මේ හේතුවෙන් මීගමුව, ජා-ඇල, කටාන, මිනුවන්ගොඩ, ගම්පහ සහ අත්තනගල්ල ප්‍රදේශවල සිටින ජනතාව අවධානයෙන් පසුවන්නැයි ආපදා කළමණාකරන මධ්‍යස්ථානය දැනුම් දෙනවා.